May 02, 2024

මුලතිව්හි උණුසුම් තත්වයක් - සාධාරණය ඉල්ලා ජනතාව පාරට බහී (PHOTOS)

December 21, 2021

මුලතිව්, උදයාර්කට්ටු මූංකිලාරු ගම්මානයේ මියගිය 12 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව විසින් කලුපටි විරෝධතාවක් ඊයේ (20) සවස සංවිධානය කොට තිබුණා.

මියගිය 12 හැවිරිදි යෝගරාසා නිදර්සනා දැරිය ගැබිනියක්ව සිටි බවටත් දැරියගේ කලලය ඉවත් කිරීමට ගත් උත්සාහයක දී සිදු වූ බරපතල කැපුම් තුවාල හේතුවෙන් අධික ලේ වහනය වීමෙන් දැරියගේ මරණය සිදු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීමත් සමග ප්‍රදේශවාසී ජනතාව අතර දැඩි කම්පනයක් මෙන්ම නොසන්සුන්තාවයක්ද ඇතිව තිබෙනවා.

මුංකිලාරු ගම්මානයෙන් ආරම්භ වූ කලුපටි විරෝධතාවයේ නිරත වූ ගම්වාසීන් උදයාර්කට්ටු විද්‍යාලය දක්වා ගමන්කොට දැරියගේ මරණය සම්බන්ධයෙන් සියලු වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටියා.

කෙසේවෙතත් දැරියගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන පුදුකුඩඉරිප්පු පොලීසිය විසින් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී තවත් සැකකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුගිය 15 වනදා දැරිය අතුරුදහන් බවට දැරියගේ මව විසින් පුදුකුඩිඉරිප්පු පොලිසියට දැනුම්දී ප්‍රදේශවාසී ජනතාවත් සමඟ සෙව්ව නමුත් හමු නොවූ අතර පසුව දැරිය අතුරුදහන් වී සිව්වන දිනයේදී (18) දැරියගේ මළ සිරුර ඇගේ නිවසට මීටර් දෙසීයක් පමණ ඈතින් කුඩා වන ලැහැබක තිබී හමු වුණා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 10:27