ඩොලර් අර්බුදයත් සමග හට ගෙන ඇති කිරිපිටි හිඟය මේ වනවිට තව තවත් උග්‍ර වෙමින් තිබෙනවා.
රට පුරා යළි කිරි පිටි හිඟයක් ඇති වීමේ සූදානමක් පවතින බවට සමාජය තුළ කතාබහක් හටගෙන තිබෙනවා.
මේ බව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳසල් හිමිකරුවන් සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී ඇති බව ද සඳහන්.
එමෙන්ම බොහෝ වෙළඳසල් තුළ කිරිපිටි පැකට්ටු අවසන් වී ඇති බව ද පාරිභෝගිකයන් ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.
තව ද ඇතැම් වෙළඳසල්වලින් එක් වරකට එක් කිරිපිටි පැකට්ටුවක් පමණක් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔවුන් අප වෙත ප්‍රකාශ කළේ.
මේ වන විටත් කිරි පිටි මිලට ගන්නට වෙළඳසල් තුළ නොමැති බව ඇතැම් ප්‍රදේශවල ජනතාව පවසනවා.
දින කිහිපයකට පෙර ද දිවයින පුරා දැඩි කිරිපිටි හිඟයක් ඇතිවූ අතර එයින් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත් වුණා.
කිරි පිටි පැකට්ටුවක් මිලට ගැනීම සඳහා දිගු පෝලිම්වල පාරිභෝගිකයින් සිටින අයුරු ඒ දිනවල දක්නට ලැබුණා.
ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ඇණවුම්වලින් ආනයනය කළ හැකි වන්නේ සියයට 50ක පමණ ප්‍රතිශතයක් බව ද කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දෙනවා.
එසේම ආනයනික කිරිපිටිවල මිලෙහි යළි සංශෝධනයක් සිදු විය යුතු බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේ.
කෙසේ වෙතත්, රට තුළ මතු ව ඇති ඩොලර් ගැටලුවත් සමඟ ආනයන තවදුරටත් සීමා කිරීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බවයි ඔහු එහි දී ප්‍රකාශ කර ඇත්තේ.
ආනයනික කිරිපිටි මෙන්ම වෙළෙදපොළේ මේ වනවිට දේශීය කිරිපිටිවල ද හිඟයක් හටගෙන තිබෙනවා.