සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (8) පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කළා.
ඒ වැය ශීර්ෂ කප්පාදුව සම්බන්ධයෙන් කරන යෝජනාව මුල් කොටගෙන.
වැය ශීර්ෂ සම්ප්‍රදාය
සම්ප්‍රදායක් ලෙස අමාත්‍යංශයක වැය ශීර්ෂ විවාදය ආරම්භයට පෙර ඒ සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරන විපක්ෂයේ මන්ත්‍රීවරයා එම වැය ශීර්ෂය රු. 10ක් කැපිය යුතු බවට යෝජනා කරනවා.
පසුගිය වසරේ අය වැය විවාදයේදීද මේ සම්බන්ධයෙන් පතිරණ මන්ත්‍රීවරයා අදහස් පල කරමින් සඳහන් කළේ රු.10ක් කැපීමට යෝජනා කිරීම විහිලුවක් බැවින් තමාට එම විහිලුව යළිත් වතාවක් කිරීමට නොහැකි බවයි.
ඒ නිසා ඒ සම්බන්ධයෙන් සම්ප්‍රදාය වෙනස් කරන ලෙසත් ඔහු එදා ඉල්ලා සිටියා.
සභානායක දුන් සහාය
එදා ඊට සභා නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන්ද සහයක් ලැබුණා.
එහෙත් වසරක් ගතවී ඇති මුත් එම සම්ප්‍රදාය වෙනස් වී තිබුණේ නැහැ.
ඒ සම්බන්ධයෙන් එදා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයද හැන්සාඩ් වාර්තා උපුටා දක්වමින් පෙන්වා දුන් පතිරණ මන්ත්‍රීවරයා සම්ප්‍රදායන් කඩ කරමින් කපා හැරීම වෙනුවට වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා.
නව යෝජනාව
ඔහු යෝජනා කළේ අමාත්‍යාංශ වැය ශීර්ෂය රු. 5000 කින් වැඩි කළ යුතු බවයි.
අමාත්‍යංශවල කළ යුත්තේ වැය ශීර්ෂ කපා හැරීම නොව ඒවා වැඩි කිරිම බව සිය යෝජනාවට පදනම ලෙසත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
එසේ සම්ප්‍රදාය වෙනස් කරමින් වැය ශීර්ෂ වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනා කළ මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට කැමති දෙයක් කර ගන්නා ලෙසටයි.
තමාට රෙදි ඇඳගෙන රු. 10ක් කපන ලෙස යෝජනා කිරීමට නොහැකි බවද මන්ත්‍රීවරයා කතානායකවරයා අමතා සඳහන් කළා.