May 06, 2024

වෛද්‍ය ජීවන්දරගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

November 28, 2021

දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවා.

ඕනෑම වයිරස ප්‍රභේදයක් පැමිණීම සදහටම නැවැත්විය නොහැකි බවද හෙතෙම සඳහන් කළා.

මෙම වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බව පැවසූ ජීවන්දර මහතා මේ ගැන අනියත බියක් ඇතිකර ඇතිකර ගත යුතු නැතැයිද සඳහන් කළා.

දැනට රජයේ මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක බවත් විදේශිකයින් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීතිරීති ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළා.

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වයිරස නවතම ප්‍රභේදයේ "s" ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බවද ආචාර්යවරයා පැවසුවා.

බූස්ටර් එන්නතින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් බියක් විය යුතු නැති බව පැවසූ ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවද අවධාරණය කළා.

බූස්ටර් එන්නත ලබාගැනීම මේ මොහොතේදී අනිවාර්යයෙන්ම කළ යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවා.

එම වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

"ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයට හැකියි කියලා අනුමාන කරනවා. ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. මේකට බිය වෙන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ඔමික්‍රෝන් රට තුළට එන එක හැකිතාක් ප්‍රමාද කරන්න. ඕනම ප්‍රභේදයක් ලංකාවට එන එක සදහටම නවත්වන්න බෑ. බූස්ටර් එන්නතෙන් අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. ඒ තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආවත් බයක් වෙන්න අවශ්‍ය නැතිවෙයි. නමුත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන දරුණු තත්ත්වයන් ගැන තාම ලෝකයේ කවුරුත් දන්නේ නෑ. ලංකාවේ වැඩිපුර දුන්නේ සයිනොෆාම් එන්නත. අපි දැක්කා පර්යේෂණ මගින් ප්‍රතිදේහ මාස 3 යනකොට අඩුවෙනවා. එවැනි අවස්ථාවක බූස්ටර් එන්නත ඉතා වැදගත්. ආරක්ෂාව තියෙන්නේ එතන. විශේෂයෙන් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම හොඳ කාරණයක් නෙමෙයි."

"ලංකාවේ තාම පැතිරෙන එකම ප්‍රභේදය ඩෙල්ටා විතරයි. ඒකෙ අනු ප්‍රභේද 2ක් අපි දැක්කා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 30න් 10ක්ම පැතිරීම ට බලපාන විකෘතිතා. මේක සැලකියයුතු තත්ත්වයක්. එන්නත්වල ප්‍රතිශක්තිය මහහැරයෑමේ හැකියාවක් මේකට තිබෙනවා කියලා අනුමාන කරනවා. ඩෙල්ටා හැදුණු රෝගීන්ට පවා මේ ඔමික්‍රෝන් වැලඳිලා තියෙනවා. මේකෙ හැසිරීම ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙයි. PCR එකකින් පවා මේක හඳුනා ගැනීමේ සහ සැක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක හොඳ දෙයක්."

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 21:25