May 07, 2024

"කොවිඩ් 19 කිසි දිනක ලොවෙන් තුරන් වන්නේ නැහැ" - ආචාර්ය ජීවන්දර භයානක හෙළිදරව්වක

කොවිඩ් 19 වෛරසය කිසි දින ලොවින් තුරන් වීමක් සිදු නොවනු ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මක ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරනවා.

දැනට සිදුකෙරෙන පරීක්ෂණ සහ ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී එම තත්ත්වය පැහැදිළි බවයි ඔහු පවසන්නේ.

එම නිසා හොඳම විසඳුම වන්නේ එන්නත්කරණය මගින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය කරගැනීම පමණක් බව ඔහු පෙන්වා දෙනවා.

මෙරට තුළ කොවිඩ් 19 එංගලන්ත ප්‍රභේදය පැතිර යාම ආරම්භවීමත් සමග සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ජීවන්දර ආචාර්යවරයා පවසනවා.

මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව තුළ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති බව පවසන ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ බ්‍රසීලයෙන් හමු වූ විකෘති ප්‍රභේදය හැර මේවන තෙක් ලොව පුරා වාර්තා වී ඇති අනෙක් සියළු කොවිඩ් වෛරස ප්‍රභේද සියල්ලම ශ්‍රී ලංකාව තුළින් හමුව ඇති බවයි.

සෞඛ්‍ය අංශවල ක්‍රියාදාමයන්ට අමතරව වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව ඍජු දායකත්වයක් ලබා දුන්නොත් පමණක් රෝග ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර අවධාරණය කරනවා.

මෙරට පැතිර යන එංගලන්ත ප්‍රභේදය හඳුනාගෙන ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම අනාවරණය කළේ ද ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ පර්යේෂකයින් විසින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 09:55