May 07, 2024

සැරම කොවිඩ් ප්‍රභේද 6ක් මෙරටට ඇතුළු වෙයි Featured

“සැර” බවින් ඉහළ කොවිඩ් 19 වෛරස ප්‍රභේද 06ක් මෙරට සංසරණය වෙමින් පවතින බව අනාවරණය කරගෙන තිබෙනවා.

එලෙස හඳුණාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය, ඉන්දියානු ප්‍රභේදය, අප්‍රිකානු ප්‍රභේදය, ඩෙන්මාර්ක් ප්‍රභේදය, නයිජීරියානු ප්‍රභේදය හා ශ්‍රී ලංකා ප්‍රභේදය යි.

මෙම ප්‍රභේද බොහොමයක් නිරෝදායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති නමුත්  බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවී ඇත්තේ සමාජයෙන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර අනාවරණය කළා.

භයානකම කොවිඩ් 19 ප්‍රභේදය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බවත් එහි පැතිරීමේ සීඝ්‍රතාවය ඉහළ අගයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ් 19 වෛරසය කිසි දින ලොවින් තුරන් වීමක් සිදු නොවනු ඇති බව ද ආචාර්ය චන්දිම ජීවන්දර පසුගිය දිනෙක සඳහන් කළා.

දැනට සිදුකෙරෙන පරීක්ෂණ සහ ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී එම තත්ත්වය පැහැදිළි බවයි ඔහු පවසන්නේ.

එම නිසා හොඳම විසඳුම වන්නේ එන්නත්කරණය මගින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය කරගැනීම පමණක් බව ඔහු පෙන්වා දෙනවා.

මෙරට තුළ කොවිඩ් 19 එංගලන්ත ප්‍රභේදය පැතිර යාම ආරම්භවීමත් සමග සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ජීවන්දර ආචාර්යවරයා පවසනවා.

මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව තුළ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති බව පවසන ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ බ්‍රසීලයෙන් හමු වූ විකෘති ප්‍රභේදය හැර මේවන තෙක් ලොව පුරා වාර්තා වී ඇති අනෙක් සියළු කොවිඩ් වෛරස ප්‍රභේද සියල්ලම ශ්‍රී ලංකාව තුළින් හමුව ඇති බවයි.

සෞඛ්‍ය අංශවල ක්‍රියාදාමයන්ට අමතරව වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව ඍජු දායකත්වයක් ලබා දුන්නොත් පමණක් රෝග ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර අවධාරණය කරනවා.

මෙරට පැතිර යන එංගලන්ත ප්‍රභේදය හඳුනාගෙන ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම අනාවරණය කළේ ද ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ පර්යේෂකයින් විසින්.

Rate this item
(0 votes)