May 03, 2024

සයිනොෆාම් නිෂ්පාදකයින්ගෙන් ලංකාවට පණිවිඩයක්

සයිනොෆාම් එන්නත පිළිබඳ මෙරට සිදු කරන ලද පර්යේෂණය මේවන විට ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ සයිනොෆාම් එන්නත පිළිබඳ මේ ආකාරයෙන් විශාල දත්ත ප්‍රමාණයක් යොදාගෙන සවිස්තරාත්මක පර්යේෂණයක් ලොව තුළ සිදුව ඇත්තේ පළමු වරට බව යි.

මේවන විට මෙම පර්යේෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව යි ඔහු පවසා සිටියේ.

ජීවන්දර මහතා වැඩිදුරටත් අනාවරණය කළේ සයිනොෆාම් එන්නතෙහි නිෂ්පාදකයින් ද මේ පිළිබඳව තමන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමට විශේෂ ස්තූතියක් පළ කර ඇති බව යි.

සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ සිරුරු තුළ කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇතිව තිබෙන ආකාරය පිළිබඳව මෙම පරීක්ෂණය සිදු කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින්.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙය සිදු කොට තිබුණා.

මලවිගේ මහත්මියට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්‍රැහැම් ඔග් යන මහත්වරුන් ඇතුළු විශේෂඥයින් පිරිසක් මෙම පර්යේෂණයට දායක වී ඇති බව සඳහන්.

මෙම පර්යේෂණය සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සපයා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය, බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සහ චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය විසින්.

පර්යේෂණය සඳහා කොළඹ නගරය තුළ 323 දෙනෙකුගේ නියැදියක් තෝරාගත් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේ.

එම පිරිස එන්නත් කිරීමට පෙර ඔවුන්ගේ රුධිර සාම්පල් ලබාගත් බවත්, එන්නත් කිරීමෙන් අනතුරුව සති 06ක් තුළ විවිධ අවස්ථාවන්හී දී ඔවුන්ගේ රුධිර සාම්පල් නැවත නැවත ලබාගනිමින් ප්‍රතිශක්තීකරණය කොයි ලෙසින් ගොඩ නැගෙන්නේ දැයි පරීක්ෂා කළ බව ආචාර්ය ජීවන්දර සඳහන් කළා.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සයිනොෆාම් එන්නතෙහි මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් 95%කගේ සිරුරු තුළ කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිදේහ සාර්තකව නිපදවා ඇති බව මෙම පර්යේෂණයේ දී අනාවරණය වූ බවයි.

එමෙන්ම සයිනොෆාම් එන්නත ලබාගත් වයස අවුරුදු 20 - 39ත් අතර පුද්ගලයින්ගේ ඉහළ ප්‍රතිශක්තීකරණයක් පෙන්වා ඇති බව අනාවරණය වී ඇති අතර එම අගය 98.9%ක්.

සයිනොෆාම් එන්නත ලබා ගත් වයස අවුරුදු 60ට ඉහළ පුද්ගලයින් තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තීකරණය 93.3%ක් බව සඳහන්.

තව ද කොවිඩ් 19 ආසාදිතව සිට සුව වූ රෝගියෙකු තුළ ස්වභාවිකව ඇතිවෙන ප්‍රතිශක්තියට සමාන ප්‍රතිශක්තියක් සයිනොෆාම් එන්නතෙන් ලැබෙන බව ද මෙහි දී පෙනී ගොස් තිබෙනවා.

මෙම පර්යේෂණයේ දී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සඳහා ද සයිනොෆාම් එන්නත ප්‍රතිඵලදායක බව යි.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදය වැළැක්වීමට මේවන තෙක් කිසිදු එන්නතකට නොහැකි වී ඇති නමුත්, එම ප්‍රභේදය ආසාදනය වී මියයෑමේ ප්‍රවණතාව අඩු කිරීමට එන්නත්වලට හැකි බව යි.

මේවන විට බ්‍රිතාන්‍ය තුළ 99%ක්ම පැතිර ගොස් ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවත්, දිනපතා එරටින් 50,000ක් පමණ ආසාදිතයින් පිරිසක් වාර්තා වුව ද මියයන්නේ ඉතාම අඩු සංඛ්‍යාවක් බවත්, එයට හේතු වී ඇත්තේ එන්නත්කරණය බවත් මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා.

එවන් පසුබිමක දී එන්නත් ලබාගත් මෙරට පුද්ගලයින්ට ද කොවිඩ් 19 ආසාදනය වීමට ඉඩ ඇති නමුත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වැළකෙනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 21 July 2021 08:31