May 03, 2024

සිලින්ඩර පිපිරීමට හේතුව ජනතාවගේ නොදැනුවත්කම: දැනුවත් කිරීම් ලබන සතියේ සිට - රාජ්‍ය ඇමති

November 27, 2021

නිදහසින් පසු රටේ තිබුණු කිසිදු ආණ්ඩුවක් ගෑස් වල ගුණාත්මක බව බලන්න පරීක්ෂණ ආයතන ඉදි කළේ නැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ පිළිබඳ වගකීම සියලු ආණ්ඩු ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

විද්‍යාත්මක ක්‍රමවේදය

ගෑස් සිලින්ඩර පිරවීමේ දී අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳව දීර්ඝ විග්‍රහයක්ද රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික සමාගමක් සමග එකතු වී ගෑස් වල ප්‍රමිතිය මැනීම සදහා වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඊට මේ වන විටත් අදාළ ගෑස් සාම්පල යවා ඇති බවත් පෙන්වා දුන්නා.

අද (27) සවස 5 වන විට ගෑස් වල සංයුතිය පිළිබඳව තිබෙන වාර්තාව තමන්ට ලැබෙන බවත් ඒ සමගම ඒ ගැන සාකච්ඡා කිරීමට ඊට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා ඇති ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

සඳුදා සම්පූර්ණ වාර්තාවක්

එළඹෙන සදුදා (29) වන විට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුවත් කිරීමක් පාර්ලිමේන්තුවට කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා සහතිකයක් දුන්නා.

ගෑස් අනතුරු නැති රටක් ලෝකයේ නැති බවත් සදහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා අපේ රටේ තත්ත්වයද ඒ හා සමාන බවයි අලගියවන්න මහතා පෙන්වා දුන්නේ.

2015 සිට 2021 දක්වා වූ අවුරුදු වල ලාෆ් ගෑස් සිලින්ඩර පිපිරීම් 12ක් නිවාස වලත් , 9ක් ව්‍යාපාරික ස්ථාන වලත් , 2ක් නියෝජිත ආයතන වලත් සිදුව ඇති බවත් ඒ පිපිරීම් 23 ගැනම පරීක්ෂණ කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

අනතුරු වලට හේතු

බාල තත්ත්වයේ උපාංග භාවිතා කිරීම , නොදැනුවත්කම , ගෑස් බටය හා ලිප නියමාකාරයට සම්බන්ධ නොවීම , දර භූමි භූමිතෙල් ලිප් අසල සිලින්ඩරය තැබීම , විදුලි කාන්දු වීම , උපාංග නිසි පරිදි නඩත්තු නොකිරීම ආදී හේතු එහිදී සොයා ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළා.

අදත් මේ වැරදි සිදු වන බව පිළිගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

ගෑස් සිලින්ඩර පිපිරීමට ප්‍රධාන හේතුව ජනතාවගේ නොදැනුවත්කම බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි සතියේදී ඒ සම්බන්ධයෙන් ගෑස් සමාගම් දෙක හා මාධ්‍ය ආයතන සම්බන්ධ කරගෙන දැනුවත් කිරීම් කරන බවත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 11:04

Related items