May 03, 2024

ගෑස් අනතුරුවලින් බේරෙන්න ඔබ කළ යුතු දේ Featured

November 26, 2021

රටේ පසුගිය සති කිහිපය තුල ගෑස් සිලින්ඩර් පිපිරීමකට ලක්වීමෙන් සිදුවූ අනතුරු කිහිපයක් පිලිබදව වාර්තා පළ වුණා.

ගෑස්වලින් අනතුරු වී තිබූ කිසිඳු ස්ථානයක ගෑස් සිලින්ඩර පුපුරා නොතිබුණු බවත් ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා නිවසේ විදුලි පරිපථ පරීක්‍ෂා කර ආරක්‍ෂිත බව තහවුරු කරගත යුතු බවත් රසපරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂක රොෂාන් ප්‍රනාන්දු මහතා ඊයේ (25) පැවසුවා.

එම ස්ථානවල ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වාතයේ වායු සමඟ මිශ්‍ර වීම නිසා පුපුරා ගොස් තිබූ බව කී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා වායු මිශ්‍රණය දෝලනය වීම විදුලි පුළිගුවක් මගින් විය හැකි බව ද සඳහන් කළා.

උදෑසන අවදිවීමේදී නිවසේ වායු ගන්දයක් දැනේ නම් විදුලි බුබුළු නොදල්වා දොර, ජනේල් විවෘත නොකර ගන්දය පහව යන තෙක් සිට ගෑස් පාවිච්චි කරන ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා ජනතාවට උපදෙස් දුන්නා.

මෙම මාසයේ දී ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වුණා.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

කොට්ටාව පොලීසිය පැවසුවේ, ඊයේ (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බවයි.

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.

පසුගිය 16 වනදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක ද පිපිරීමක් සිදුවූ අතර එය ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වුණා.

කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක පසුගිය 20 වැනිදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා.

ඊට අමතරව වැලිගම, කප්පරතොට, ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබුණා.

එම පිපිරීමෙන් මෙම සංචාරක හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළ අතර අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවද සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 26 November 2021 10:38