April 26, 2024

මට වග කියන්න පුළුවන් පෙබරවාරි වෙනකන් විතරයි : ඇමතිගෙන් කැබිනට්ටුවට අනතුරු ඇඟවීමක්

November 23, 2021

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් තමාට වග කිව හැක්කේ එළඹෙන වසරේ පෙබරවාරි මස දක්වා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එයද උපරිම ධෛර්යයක් යොදා කරන්නක් බව පවසා තිබෙන අමාත්‍යවරයා ඉන් පසුව තමන්ට කළ හැක්කක් නොමැති බවත් කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.

බොරතෙල් ආනයනය

ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැති කමයි.

ඉන්ධන සදහා ඩොලර් සෙවීමට ගම්මන්පිල අමාත්‍යවරයා පසුගිය කාලය පුරා විශාල උත්සාහයක් ගත්තද එයද අසාර්ථක වී තිබෙනවා.

ගම්මන්පිල මහතා තෙල් නිශ්පාදිත රටවල් වල ඕමානය , එක්සත් අරාබි එමිර් රාජ්‍යය , ඉරානය ඇතුළු රටවල් ගණනාවකට ගොස් සාකච්ඡා කළ මුත් ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් එම රටවලින් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවයි දැනගන්නට තිබෙන්නේ.

කැබිනට්ටුවට දිග විස්තරයක්

මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එහිදී තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණයද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්ධන ආනයනය සඳහා මසකට ඇමරිකානු ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවත් වසරක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ අවශ්‍ය කර තිබෙන බවට තොරතුරු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 15:24