May 02, 2024

මුදල් ඇමති බැසිල් නැතුව අදත් පාර්ලිමේන්තුව උණුසුම්

November 19, 2021

විවාද වෙමින් පවතින අය - වැය ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා අද ද (19) පාර්ලිමේන්තුවේ නොසිටීම මුල් කරගෙන ආණ්ඩු හා විපක්ෂය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමත් සමඟ යි.

සම්ප්‍රදාය කඩ කිරීම

තමන් ඉදිරිපත් කළ අය - වැය ප්‍රශ්න වලට පිළිතුරු දීමට මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නොසිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කිරීමක් හා හෑල්ලුවට ලක් කිරීමක් බවට කිරිඇල්ල මහතා චෝදනා කළා.

මේ රටේ හිටපු මුදල් අමාත්‍යවරුන්වන වන්නිනායක, ආචාර්ය එන්.එම්.පෙරේරා ඇතුළු මහත්වරුන් අය - වැය විවාදයට සහභාගි වී එහිදී මතුවන ප්‍රශ්න ලිඛිතව සටහන් කර ගනිමින් කටයුතු කළ බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු දීමට ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වූයේ සුපුරුදු පරිදි ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා යි.

පිළිතුරු රාජ්‍ය ඇමතිගෙන්

ඔහු සඳහන් කළේ කිරිඇල්ල මහතාට මොලේ අමාරුවක් තිබෙන බවයි.

අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් තිබේ නම් ලියා දෙන ලෙසත් ඒවාට පිළිතුරු සැපයීමට ආණ්ඩුව සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් කිරිඇල්ල මහතා සඳහන් කළේ තමා රටේ විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්න දෙකක් ඇසූ බවත් තවමත් ඊට පිළිතුරු නොලැබුණු බවයි.

දෙදෙනා අතර විවාදය දුර දිග යෑම වළක්වාලීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පියවර ගත්තා.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 10:55

Related items