May 19, 2024

දැඩි ආරක්ෂාවක් මැද පාසල් ඇරඹෙයි! දරුවන්ගේ පැමිණීමත් හොඳ මට්ටමක

පසුගිය මාස කිහිපය පුරංවට මෙරට පැවති වසංගත තත්ත්වය නිසා වසා දමා තිබූ පාසල් අද (25) සිට යළි සුපුරුදු පරිදි ආරම්භ කෙරුණා.

ඔක්තොම්බර් 21 වැනිදා ළමුන් 200ට අඩු දරුවන් සිටින පාසල් ආරම්භ කළත් එදින ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණිම සතුටුදායක මට්ටම නොතිබුණා.

සෞඛ්‍ය අංශවල සහ අධ්‍යාපන නිලධාරින්ගේ මාර්ගෝපදේශයන් අනුව පසුගිය 21 වැනිදා සිට පාසල් ආරම්භ වූ අතර එහි දෙවන අදියර යටතේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල ප්‍රාථමික අංශයන් අද සිට යළි ආරම්භ වුණා.

අද (25) දිනයේ දී දිවයින පුරා බොහෝ පාසල්වල දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණිම සතුටුදායක මට්ටමක පැවති බවයි ඒෂියන් මිරර් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියා සිටියේ.

මඩකලපුව දිස්ත්‍රික්කයෙත් පාසල් යළි ඇරඹෙයි

සය මාසකට පසු ප්‍රාථමික පාසල් අද (25) දිනයේ නැවත ආරම්භ කළා.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ  5 වසර දක්වා පාසල් මෙලෙස ආරම්භ කර තිබෙනවා.

සිසුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පාසලට පැමිණි සිටි දක්නට ලැබුණු අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කලාප 61ක් විවෘත කළ බවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුජාතා කුලේන්ද්‍රන් පැවසුවා.

(ජවුෆර් ඛාන් - මඩකලපුව)

වතුකරයෙත් පාසල් ඇරඹෙයි! දරුවන්ගේ පැමිණීමත් ඉහළයි

අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි දිවයිනේ සියළුම පාසල් වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට සමගාමිව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිල පාසල් 87 ක අධ්‍යාපන කටයුතු අද (25) දිනයේ උදැසන ආරම්භ වුණා.

එම පාසල් වල විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ සහ ළමුන්ගේ පැමිණිම ඉහල මට්ටමක පවතින බවත් දක්නට ලැබුණා.

පාසලට පැමිණි සෑම ගුරුවරයෙකුම සහ ළමයෙකුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පන්ති කාමර වෙත ඇතුළත් කරගත් බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

සෑම පාසලකටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරයද මෙහිදී දක්නට ලැබුණා.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

දඹුල්ලේ ප්‍රාථමික පාසල් ආරම්භ වුණේ මෙහෙමයි

මාස 6කට පසුව නැවත පාසල් ආරම්භ කිරීම සමඟ ගුරුවරුන්ගේ මෙන්ම සිසු සිසුවියන්ගේ වාර්තාගත පැමිණීමක් අද (25) දිනයේ පැවති බව ගුරුවරුන් කියා සිටියා.

දඹුල්ල ප්‍රාථමික විදුහල් දරු දැරියෝ විශාල වශයෙන් පාසලට පැමිණ තිබුණු අතර දෙමාපියන් විසින් දරුවන් පාසලට රැගෙන පැමිණ තිබුණා.

ඇතැම් දරුවන් තම ගුරුවරුන්ට බුලත් හුරුළු දී වැඳ නමස්කාර කිරීම් ද තවත් දරුවන් මල් පොකුරු රැගෙන විත් මාස 6කහයකට පසුව දකින ගුරුවරුන්ට වැඳ නමස්කාර කරන්නට වීම විශේෂත්වයක් වුණා.

ඇතැම් දරුවන් තමන්ගේ පාසල් නිල ඇඳුම ප්‍රමාණය ඉක්මවා යෑම නිසා වෙනත් ඇඳුම් වලින් පාසැලට පැමිණ සිටීම ද මෙහිදී දක්නට ලැබුණා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ දෑත් සෝදා ගැනීමෙන් පසු වූ පාසල්වලට ඇතුළත් වීම සිදු කෙරුණු අතර  දරුවන් හතළිහකට වැඩි නිසා ඉන් අඩක් පළමු දිනයේ ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගත් බව විදුහල්පති වරයා සඳහන් කළා.

උදෑසන ආගමික වතාවත් වලින් පසුව ගුරුවරුන් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ කටයුතු ආරම්භ කරන අයුරු දැක ගැනීමට හැකිවුණා.

(කාංචන කුමාර - දඹුල්ල)

පුත්තලම දිස්ත්‍රික්කයෙත් ඉහළ සිසුන්ගේ පැමිණීමක්

ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීම පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඉතා ඉහළ මට්ටමක පැවතුණා.

පුත්තලම දිස්ත්‍රික්කය ත්‍රළ ප්‍රාථමික පාසල් 121 ක් ඇති අතර, එම සෑම පාසලකටම සැළකිය යුතු දරුවන් පිරිසක් පැමිණ සිටින ආකාරයක්ද දක්නට ලැබුණා.

සෑම පාසලකම ගුරුවරුන්ගේ පැමිණීමද ඉතා ඉහළ මට්ටමක පැවති බවක් මෙහිදී දැකගැනීමට හැකිවුණා.්‍

(ජුඩ් සමන්ත - පුත්තලම)

කුලියාපිටියෙත් පාසල් යළි ආරම්භ වෙයි

කුලියාපිටිය පාසල් 54ක ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු අද (25) ආරම්භය වුණු අතර සිසුන්ගේ පැමිණීමත් ඉහළ මට්ටමක තිබුණා.

ගුරුවරුන්ගේ පැමිණීමට ඉතාමත් යහපත් තත්ත්වයක පැවතුණා.

එහිදී පොලිසිය සෑම විද්‍යාලයක් ආවරණය වන පරිදි ආරක්‍ෂාවට නිලධාරීන් යොදවා තිබීමත් උසස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ පිළිබඳ නිරීක්‍ෂණ සිදුකරන ආකාරයද අපට දැක ගැනීමට හැකිවුණා.

එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබූ මාර්ගෝපදේශයන් අනුව පාසල්වල වැඩකටයුතු සිදුවන ආකාරයද දැකගත හැකිවුණා.

(දිනේෂ් උපේන්ද්‍ර - කුලියාපිටිය)

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 01:15