May 19, 2024

ආණ්ඩුව ගුරුවරුන්ට අභියෝග කරයි! දැඩි ආරක්ෂාව මැද පාසල් අරඹයි (PHOTOS)

දිවයින පුරා ඇති ළමුන් 200ට අඩු පාසල් අද (21) දිනයේ වසර 02කට ආසන්න කාලයකින් පසුව නැවත විවෘත කෙරුණා.

ඒෂියන් මිරර් ප්‍රාදේශීය මාධ්‍යවේදින් විසින්ද වාර්තා කර තිබුණේ බොහෝ ප්‍රදේශවල පාසල් විවෘත කළත් ගුරුවරුන් නොපැමිණි සිටි බවත් පාසල් වෙත පොලිස් ආරක්ෂාවද ලබාදී තිබුණු බවයි.

පාසල් අද විවෘත කරන බවට ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටි අතර ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටියේ අද දිනයේ පාසල් විවෘත වුණත් අද සහ හෙට (22) දිනයේ වැඩ වර්ජනයේ නිරතව සිටින බවයි.

එමෙන්ම නැවත සුපුරුදු පරිදි රාජකාරි ආරම්භ කරන්නේ ලබන 25 වැනිදා සිට බවද ගුරුවරුන් පවසා සිටියාා.

පංති කාමරවලට ඉඹි යතුරු වැටෙයි - දඹුල්ලේ පාසල් ආරම්භ වුණේ මෙහෙමයි

දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පාසැලට පැමිණෙද්දී එහි ගුරුවරුන් කිසිවකු පාසැලට නොපැමිණි ඇති අතර පාසල් දරුවන්ගේ සෑම කාමරයක්ම ඉබි යතුරු දමා ගුරුවරුන් විසින් වසා දැමීම නිසා පාසල් පැමිණි දරුවන්ට ගස් සෙවණේ සිටීමට සිදුවුණා.

දරුවන් දෙමව්පියන්ගේ දෙපා වැඳ පාසැලට පැමිණෙද්දී තවත් දෙමව්පියෝ පිරිසක් මල් කළඹ  ලබා දී දරුවන් පිළිගත්තද ගුරුවරුන් පාසලට පැමිණ නොසිටි නිසා පාසලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට දෙපා වැද  දරුවන් පාසලට පැමිණි අයුරු දැක ගැනීමට හැකිවුණා.

(කාංචන කුමාර - දඹුල්ල)

ගුරුවරුන් නැතුවම වතුකරයෙත් පාසල් ඇරඹෙයි - දරුවන් තනිවම පංතිකාමරවල

සෞඛ්‍ය අංශ උපදෙස් මත මාස කිහිපයක් තිස්සේ වසා දමා තිබු පාසල් අතරින් ළමුන් 200 අඩු පාසල් අද (21) දින විවෘත කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙස් ලබාදි තිබුණද නුවරඑලිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශවල පිහිටි බෝහෝ පාසල් වලට විදුහල්පතිවරුන්, ගුරුවරුන් පැමිණ නොසිටි අයුරු අප කැමරාවේ සටහන් වුණා.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් පාසල් විවෘත කර තිබු අතර, එම පාසල් වලට ළමුන් කිහිප දෙනෙකු පමණක් පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණා.

පාසලට පැමිණි විදුහල්පතිවරුන්ද අත්සන් ලේඛණය අත්සන් නොකර සිටි බවත්, පාසලට පැමිණ ළමුන් පාසල් වේලාවෙන් පසුව ආරක්ෂිතව නිවාස කරා යැවිමට කටයුතු කරන බවද එම විදුහල්පතිවරුන් පැවසුවා.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ළමුන් 200 ට අඩු පාසල් 74 ක් තිබෙන බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතා කියා සිටියේ.

අද දිනයේ පාසලට නොපැමිණි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කියා සිටියේ තම වෘත්තිය සමිති උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

මඩකලපුවෙත් පාසල් විවෘතයි 

මඩකලපුවෙත් 200කට අඩු සිසුන් පිරිසක් ඉගෙනුම ලබන පාසල් අද විවෘත කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පාසල් 588ක් අද (21) දින විවෘත කිරීමට නියමිත බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා පුල්ලනායගම් මහත්මිය පවසා සිටියා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සිසුන් 200 කට අඩු පාසල් විවෘත කර තිබෙනවා.

සිසුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පාසලට පැමිණි සිටි අතර මඩකලපුව අධ්‍යාපන් කලාපයේ පාසල් 36 ක් විවෘත කල බව කලාප අධ්‍යක්ෂිකා සුජාතා කුලේන්ද්‍රන් මහත්මිය පවසා සිටියා.

(ජවුෆර් ඛාන් - මඩකලපුව)

පුත්තලම දිස්ත්‍රික්කයෙත් පාසල් 155ක් විවෘත වෙයි - ළමුන් සහ ගුරුවරුන්ගේ අඩුවක්

දරුවන් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතත් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් බොහෝමයකට දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ දරුවන් 200 ට අඩු පාසල් 155 ක් තිබෙනවා.

මෙම පාසල් බොහෝමයකට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවක්ද දක්නට ලැබුණා.

බොහෝ පාසල්වල දරුවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් පැමිණ සිටි අතර, ගුරුවරුන්ගේ නොපැමිණීම හේතුවෙන් එම දරුවන්වද දෙමව්පියන් විසින් නිවෙස් වලට රැගෙන යන ආකාරයක් දක්නට ලැබුණා.

ගාල්ලේ පාසල්වල ගුරුවරු වෙනුවට අභ්‍යාස ලාභී උපාධිධාරීන් පැමිණෙයි

අක්මිමන  කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අයත්  සේනපාල සමරසේකර කණිෂ්ඨ විද්‍යාලයේ හා පින්නදුව ජයන්ති විද්‍යාලය සදහා  ඉගෙනුම ලබන කිසිදු පාසල් දරුවෙකු අද (21) දින පාසලට නොපැමිණි අතර අභ්‍යාසලාභි උපාධිධාරි හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ පිරිසක් පාසලට පැමිණි සිටියා.

මේ අතර අංකොක්කාවල ශ්‍රි සුමංගල මහාවිද්‍යාලයේ හා පනාගමුව කණිෂ්ට විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දැරියන් සිව් දෙනෙකු පාසල වෙත පැමිණ සිටියා.  

අභ්‍යාසලාභි උපාධිධාරින්  හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්  පාසල් සදහා පැමිණ සිටි අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ළමුන් 200ට අඩු  බොහෝ පාසල්වල  විදුහලපතිවරු,ගුරුවරු අද (21)  පැමිණි නොසිටි අතර ළමුන් ගේ පැමිණිමද  ඉතා පහළ මට්ටමක පැවතුණා.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 11:52