May 03, 2024

ගුරුවරුන්ට දෙමාපියන්ට බලය පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු (VIDEO)

November 03, 2021

ගුරු විදුහල්පති ගැටලුව මුල් කර ගනිමින් අද පෙරවරුවේ දිවයින පුරා පිහිටි පාසල් රැසක් ඉදිරිපිට ගුරු - විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විරෝධතාවල නිරත වුණා.

ඊට දෙමාපියන් ද සහාය පළ කරමින් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියන් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් ඉල්ලා සිටියේ, ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබාදීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසටයි.

ගාල්ල - අමුගොඩ සුදාරක ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් පිරිසක් ද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගුරු විදුහල්පතිවරුන්ට සහය පල කරමින් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

හලාවත, මීගමුව, බදුල්ල, හාලිඇල, මාතර, මාතලේ, හෝමාගම, සූරියවැව, ඇඹිලිපිටිය සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි පාසල් ඉදිරිපිට ද දෙමාපියන් විරෝධතාවල නිරත වුණා.

මේ අතර, මාවනැල්ල මෙඩේරිගම විද්‍යාලයේ මාපියන් අද සිය විරෝධය පළ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපති කේ.ජී පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රිවරු දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කේ.ජී.පියතිස්ස මහතා - අද ඔය දේ කරන්න එපා, යන්න දරුවනේ යන්න ඇයි ඔයා මේ වගේ දෙයක් කරන්නේ, ඔයාලා දරුවෙකුට උගන්වනවද?

පාසලේ ගුරුවරයෙක් - අපි මේ වැඩකරන ගමන්

කේ.ජී.පියතිස්ස මහතා - වැඩ කරනගමන්.., මේ බොරු කියන්න එපා, ඔය බෝඩ් ටික දෙන්න නංගී, මේ මහත්තයා මේ වැඩකරන ඒවාද ඉස්කෝලේ. ඇයි මේ රජයක් අපහසුතාවයට පත් කරන්නේ, ඔයාට කොරෝනා කාළෙත් පඩි ගෙව්වා. පඩි ගෙවද්දි ඔයාලා ගෙවල්වලට වෙලා ඔන්ලයින් උගන්වන්න එපා කියලා ඔයා දාපුවා මගේ ළඟ තියෙනවා. දෙමව්පියෝ යන්න සියලු දෙනාම. ඔයා මේ ඉස්කෝලේ කරන්න එපා, මේක අපි හැදුවේ හොඳට පරිස්සම් වෙන්න. 

පාසලේ ගුරුවරයෙක් - අනවශ්‍ය දේවල්වලට අපිට බනින්න අවශ්‍ය නෑනේ. අපිටත් අපහාස කළා, මට කිව්වා උඹ කියලම, උඹලා මෙහෙම කළා කිව්වා. 

කේ.ජී.පියතිස්ස - මම පිළිගන්නවා ඔබතුමිය හරි කියලා, මම මෙතන කට පරිස්සමින් කතා කරන්නේ, ඔක්කොගෙම පැටිකිරිය මගේ ගාව තියෙනවා. මම හරි පරිස්සමෙන් කතා කළේ ඒ නිසා.
 
අනතුරුව තත්ත්වය සමනය වූයේ මාවනැල්ල පොලීසියේ නිලධාරීන් පැමිණි පසුවයි.

පසුව පාසලේ ගුරුවරු, උප සභාපතිවරයාගේ තර්ජන හමුවේ රාජකාරී කිරීමට අපහසු බැවින් තමන් වෙනත් පාසල් වෙත මාරුකර යවන්නැයි ඉල්ලා මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලිපියක් භාරදී තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ උපසභාපතිවරයා පිළිබඳ වහා විමර්ශනයක් කොට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන ඔවුන් පවසන්නේ එසේ නොවුනහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 November 2021 21:00