May 19, 2024

සෞන්දර්ය විෂයන් කළ සා.පෙළ සිසුන්ගේ ප්‍රතිඵල ගැන නිවේදනයක්!

September 24, 2021

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අද (24) මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් දැක්වූවා.

2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයය හැර අනෙකුත් විෂයයන්ගේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරුණා.

කොවිඩ් උවදුර සමනය වී පාසල් නැවත විවෘත කළ පසු ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියා.

සෞන්දර්ය විෂයය යටතේ නැටුම්, සංගීතය සහ නාට්‍ය හා රංගකලාව හදාළ සිසු සිසුවියන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන බව ද  පෙරේරා මහතා සඳහන් කළා.

2020 වර්ෂයේදී සෞන්දර්ය විෂයයට සිසු සිසුවියෝ 170,000ක් පෙනී සිටි අතර ඔවුන්ගෙන් විෂයයන් 05ක් සමග සම්මාන 02 සහිත සාමාර්ථය සහ පාසල් පාදක තක්සේරුව යටතේ නිපුණතා මට්ටම 1,2 සහ 3 (විශිෂ, සමාන්‍ය, ආසන්න) ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන තුරු උසස්පෙළ ඉගෙනීමට අවසර ලැබෙන ඇතියි.

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞන්දර්ය විෂයයේ ප්‍රතිඵල හැර සෙසු විෂයයන්හි ප්‍රතිඵල අනුව සියයට 75.12ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා එම සාකච්ඡාවට සම්බන්ධ වෙමින් පවසා සිටියා.

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට විභාග අංකය අමතක නම් ජාතික හැඳුනුම්පත් අංකය  උපයෝගී කොටගෙන හෝ 1911 ඇමතීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ද සනත් පූජිත මහතා එහිදී පවසා සිටියා.

විදුහල්පතිවරුන්ට, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල දැන ගැනීමේ ක්‍රමයක් සකස්කර ඇති බවත්  විභාග සහතික අවශ්‍ය අයට සඳුදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා ලබාගැනීමට හැකි බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එල්. එම්. ඩී. ධර්මසේන මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 16:14