May 12, 2024

පොහොර හිඟය උග්‍රවෙයි! එළවළු මිල 100%කින් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් දින 2 ක පමණ කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ ක්‍රිස්ටි විජේරත්න මහතා අද (22) පවසා සිටියා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් 70%ක් පමණ බෙදා හරින තොග වෙළෙඳ  මධ්‍යස්ථානය වෙයි.

ඊයේ (21) දිනයේ සිට එක්වරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙඳුන් පවසනවා.

ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්ඳුන් පවසනවා.

මීට පෙර කිසිදු දිනක ඉහළ නොගිය පතෝල, වැටකොළු, බණ්ඩක්කා ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 ත් 180ත් අතර ඉහළ මිලකට අලෙවි වීම විශේෂත්වයක් වුණා.

ඒ අනුව වම්බටු, මෑ කරල්, පතෝල, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් එකසිය විස්සේ සිට දෙසිය විස්ස දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වීම විශේෂත්වයක්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝ එකක තොග මිල රුපියල් 220ක්ද, බෝංචි කිලෝවක තොග මිල ද රුපියල් 220ක්ද, එමෙන්ම දේශීය ලොකු ලූනු මිල ද ඉහළ ගොස් කිලෝවක්  රුපියල් 170 කට මිලදී ගැනීම සිදු වෙන බව වෙළෙන්ඳන් පෙන්වා දෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ඊයේ (21) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවයි.

ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ ඉල්ලීම අනුව සැපයුමක් නොමැති වීම බවද ඔහු පෙන්වා දෙනවා.

එළවළු ඉතා අඩු ප්‍රමාණයක් වෙළෙඳ ලැබෙන නිසා ඉල්ලුම සැපයුම න්‍යාය අනුව ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ඉහළ යෑම සිදු වන බවත් පෙන්වා දෙන අතර එළවළු නිෂ්පාදනය අවම වශයෙන් පවතින බවද ඒ මහතා සඳහන් කළා.

ඇතැම් ගොවීන් ආර්ථික මධ්‍යස්ථානය තුළ දී කියා සිටියේ කෘමිනාශක ද්‍රව්‍ය නොමැති වීම පොහොර හිඟය නිසා දැනට පවතින වගාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවයි.

එම නිසා තමන් නිෂ්පාදනය කළ ඉතා සීමිත එළවළු සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් විශාල එළවළු ප්‍රමාණයක් කෘමි සතුන්ගේ හානිය නිසා ඉවත් වන බව ඔවුහු පෙන්වා දෙනවා.

එමෙන්ම ගොවීන් කියා සිටියේ  රුපියල් එක්දහස්  1500ට අලෙවි වූ රසායනික පොහොර මිටියක් රුපියල් 10,000ක් වැනි ඉහළ මිල ගණන් යටතේ මේ වන විට රහසිගතව අලෙවි කිරීම් සිදුවන බවයි.

එම වැඩි මිලක් ලබා දී වගාවන් සිදු කරමින් යම් මට්ටමකින් එළවළු වෙළෙඳපොළට රැගෙන එන බව ගොවීන් පවසනවා.

(කාංචන කුමාර - දඹුල්ල)

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 12:01