May 13, 2024

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගැනත් තීරණයකට එයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය පිළිබඳ තෙවන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් හමුව 2021 ඔක්තෝබර් 14 වන දින අතථ්‍ය ආකාරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ සහ ඉන්දීය සංචාරක කර්මාන්තයේ ඒකාබද්ධ ලේකම් (සංචාරක අංශය) ශ්‍රී රාකේෂ් කුමාර් වර්මා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණා.

සංචාරක කර්මාන්ත සහයෝගීතාවයේ වැදගත්කම

දෙරට අතර සංචාරක කර්මාන්තයේ සහයෝගීතාවයෙහි වැදගත්කම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා ද මෙම හමුව ඇමතූ අතර දෙරට අතර ගැඹුරු සංස්කෘතික සබඳතා සහ ජනතාව අතර බැඳීම් සම්බන්ධයෙන් එතුමා සිය අදහස් මෙහිදී බෙදා ගත්තා. 

දෙරටම විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර ඇති අවස්ථාවක මෙම හමුව පැවැත්වීම සම්බන්ධයෙන් එතුමා සිය සතුට පළ කළේය. 2021 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ ඉන්දියානු සංචාරකයන් බව සඳහන් කළ මහ කොමසාරිස්තුමා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කොව්ඩ්-19 වසංගත තත්ත්වය යහපත් අතට හැරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගන්නා ලද  ක්‍රියාමාර්ග නැවතත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් විශාල වශයෙන් පැමිණීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූ බව ප්‍රකාශ කළා.

2004 වසරේ ගිවිසුමේ වැදගත්කම

මෙම අවස්ථාව අමතමින් දෙරටෙහි නියෝජිත පිරිසේ ප්‍රධානීහු 2004 ජනවාරි මාසයේදී දෙරට රජයන් අතර අත්සන් තබන ලද ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම පාදක කරගත් ද්විපාර්ශවික සංචාරක සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ හ. විවිධ ක්ෂේත්‍රයන්හි සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම උදෙසා තම රජයන් දක්වන උනන්දුව ඔවුන් විසින් පළ කර තිබෙනවා.

මේ අනුව ගුවන් සහ මුහුදු සම්බන්ධතාවය ඉහළ නැංවීමට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ දෙරටෙහි සංචාරක කර්මානතයේ පාර්ශවකරුවන් අතර සහයෝගීතාවය සහ අන්තර්ක්‍රියා වර්ධනය කිරීම යනාදියෙහි වැදගත්කම ද මෙහිදී අවධාරණය කළා.

දෙරට අතර සංචාරක ගමනාගමනය සඳහා පහසුකම් සැලසීම, ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන සහ ශ්‍රී ලංකාවේ පිහිටි රාමායණය හා සබැඳි ස්ථාන සංවර්ධනය කිරීම හරහා ආගමික සංචාරක කර්මාන්තයෙහි සහයෝගීතාවය ඉහළ නැංවීම, ඉන්දියාවේ කුෂිනගර් බෞද්ධ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, සුවතා සංචාරක කර්මාන්තය, වික්‍රමාන්විත ක්‍රීඩා සංචාරක කර්මාන්තය, MICE සංචාරක කර්මාන්තය, සිනමා සහ විනෝදාත්මක සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම යනාදිය ද මෙහිදී සාකච්ඡා කළා.

මේ අනුව ප්‍රදර්ශන, ප්‍රවර්ධන කටයුතු සහ හුවමාරු සංචාරයන් සංවිධානය කිරීම යනාදිය හරහා හෝටල්කරුවන්, සංචාරක නියෝජිතායතන, අදාළ ආයතන සහ සංචාර මෙහෙයවන්නන් වැනි ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවකරුවන් අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසා දීමට ද දෙපාර්ශවය විසින් තීරණය කරන ලදී. 2021 අප්‍රේල් මාසයේදී දෙරට අතර ගුවන් සංචාරක බුබුළක් ස්ථාපනය කිරීම, ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවෙන් ඉන්දියාව ඉවත් කිරීම සහ 2021 නොවැම්බර් මාසයේදී ඉන්දීය රජය විසින් සංචාරක වීසා යළි නිකුත් කිරීම ඇරඹීම වැනි දෙරට රජයන් විසින් ගන්නා ලද තීරණවල වැදගත්කම ද දෙපාර්ශවය විසින් අවධාරණය කළා.

ශක්තිමත් සබඳතා සහ සංස්කෘතික බැඳීම් ඉහළ නැංවීම

දෙවන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් හමුව 2016 ජූනි මාසයේදී කොළඹදී පැවැත්විණ. තෙවන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් හමුව පැවැත්වූයේ මෙම මස මුලදී ඉන්දීය විදේශ ලේකම්තුමා විසින් සිදු කරන ලද සාර්ථක ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව වීම විශේෂත්වයක්.

මෙය දෙරට විසින්ම කොවිඩ් ආශ්‍රිත සීමා ලිහිල් කිරීමත් සමඟ ද්විපාර්ශවික සංචාරයන් ඉහළ යාමේ පෙරනිමිත්තක් විය. මේ වන විට ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර එතුළින් පෙන්නුම් කරන්නේ දෙරටෙහි නායකත්වයේ දැක්ම සහ කැපවීම අනුව ද්විපාර්ශවික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා දෙපාර්ශවය විසින් ලබාදෙන වැදගත්කමයි. 

අද දින පැවති ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් හමුව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ශක්තිමත් සබඳතා සහ සංස්කෘතික බැඳීම් තවදුරටත් ඉහළ නැංවීමට ඉවහල් වනු ඇතියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 19:42