May 19, 2024

මුලතිව් මහ රෝහලේ රෝගීන්ගේ ජීවිත අවදානමේ - සෞඛ්‍ය අංශ බලධාරීන් තවමත් නිහඬයි

මුලතිව් දිස්ත්‍රීක් මහ රෝහලට ස්ථීර විශේෂඥ වෛද්‍යවරුන් වසරක ආසන්න කාලයක් නොමැතිවීම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම රෝගීන්ටද දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මෙතෙක් කාලයක් රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මාස 10 කට පමණ පෙර විදෙස්ගත්ව ඇති අතර අනෙක් විශේෂඥ වෙද්‍යවරයාද ස්ථාන මාරුවක් ලබාගන මඩකලපුව ප්‍රදේශයට ගොස් තිබේ.

මේ වන විට මුලතිව් මහරෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු, විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු සහ විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු අත්‍යවශ්‍යව ඇති බවටත් ඊට අමතරව රෝහලට අවශ්‍ය විවිධ අංශයන්හි සෙසු වෛද්‍යවරුන්ද හිඟයක් පවතින බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට මෙන්ම රජයේ වෛද්‍ය සභාවට, උතුරු පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ලිඛිතවද දැනුම් දී ඇති බවට මුලතිව් සෞඛ්‍ය වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ලක්ෂයකට අධික ජනතාවක් ජීවත්වන මුලතිව් දිස්ත්‍රීක්කයේ ජනතාව දෛනිකව සෞඛ්‍ය පහසුකම් ලබාගන්නා මුලතිව් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිව කිලෝ මීටර් 75 කට අධික දුරක් ගෙවා වව්නියාව මහරෝහලට හෝ කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගෙවා කිලිනොච්චිය හෝ යාපනය රෝහල් වෙතට රෝගීන් මාරුකොට යැවීමට සිදුවන බවටද මුලතිව් වෛද්‍යවරුන් ඒෂියන් මිරර් වෙත කියා සිටියා.

එහිදී රෝගීන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ගිලන් රථ නොමැති වීමෙන්ද අපහසුතාවන්ට පත්වන අතරම ගිලන්රථ නොමැතිව පුද්ගලිකව රෝගීන් ප්‍රවාහනය කිරීමට ආර්ථිකයක් නොමැති මුලතිව් ජනතාව දැඩි පීඩාවන් පත්වන අතරම ඇතම් රෝගීන්ගේ ජීවිත අවධානමක්ද පවතිනවා.ෙ

කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට මුලතිව් රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙකු ඉතා ඉක්මනින් ලබා දෙන බවට වාචිකව පොරොන්දු වී ඇති අතර එයද කෙදිනක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේදැයි යන්න පිළිබඳව මුලතිව් රෝහල් වෛද්‍යවරුන්ට බලා සිටීමට සිදුව තිබෙනවා.

වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත කළ ඉල්ලීමේ ලිපිය පහතින්,

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 08:37