April 23, 2024

මාරාන්තික කළු දිලීරය මෙරට පළමු ජීවිතය බිලිගනී Featured

ලංකාවේ පළමු වතාවට කොවිඩ්  නිව්මෝනියා හා සම්බන්ධ  කළු දිලීර සංකූලතා හේතුවෙන් සිදු වූ  මරණය වාර්තා වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා පවසනවා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නිව්මෝනියාව වැළඳීමෙන් මේ පුද්ගලයා සැප්තැම්බර් මස 29 වන දින මිය ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල්  වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සැප්තැම්බර් මස 29 වන දින යොමු කළ බැව්  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවා.

මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව ඊයේ (21) දින ලැබුණු බවත් ඒ අනුව මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියා.

වෛද්‍ය පර්යේෂණායතනයේ  දීලිර පිළිබඳ විශේෂඥ වෛද්‍ය  ත්‍රිමාලි ජයසේකර මහත්මිය විසින් මෙම පරික්ෂණය සිදු කොට ඇති බවද  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.

මෙරට කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලිර සංකූලතා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය මෙය බව ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවා.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙක්.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(7 votes)
Last modified on Friday, 22 October 2021 14:12