March 28, 2024

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපස අඛණ්ඩ මාරාන්තික උපවාසයක

පවුල් සෞඛ්‍ය සේවිකා අධි ශ්‍රේණියේ පත්වීම් අහෝසි කිරීමට එරෙහිව අද (31)  දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපස අඛණ්ඩ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනී සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.                                

මහනුවර ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනී සේවා ව්‍යවස්ථාවට අනුව තෙවන ශ්‍රේණියේ නිලධාරිනියක වශයෙන් සේවයට එක්වී දෙවන ශ්‍රේණිය, අධි ශ්‍රේණිය හා විශේෂ ශ්‍රේණිය වශයෙන් තම සේවා කාලය අනුව උසස්වීම් ලැබීම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී සේවයේ සාමාන්‍ය සේවා පටිපාටිය බවයි.

එබැවින් තම සේවා කාලය වසර 30 කට අධික කලක් සපුරා ඇති නිලධාරීනියන් 05 දෙනෙකු 21.03.2023 දින සිට විශේෂ ශ්‍රේණියට උසස් වීම් කළද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ බලපෑම මත සෞඛ්‍ය ලේකම්වරයා මේ වන විට එම තනතුරු අහෝසි කිරීමට පියවර ගෙන ඇති බැවින් ඊට දැඩි විරෝධය පා අඛණ්ඩ මාරාන්තික උපවාසයක නිරත වන බවත් වාර්තා වෙනවා.

ඊට අමතරව දිවයින පුරා සේවයට අනුයුක්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 11,800 ක් සේවයෙන් බැහැර වන බවද ඇය සඳහන් කළා. 

මෙම තත්ත්වය මත උපවාසයේ නිරත පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ගර්භණී මවක්, දරුවෙක් මරණයට පත් වුවහොත් වගකීම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජය දැරිය යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)