May 11, 2024

දුම්වැටි මිලත් ඉහළට - සෑම වසරකම මිල ඉහළ දාන මිල සූත්‍රයකුත් එයි

දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

මේ වන විට එම මිල සූත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඒ ගැන සාකච්ජා කර තිබෙන බවත් දුම්වැටි සඳහා බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට එය ඇතුලත් කරගැනීමට බලාපොරොත්තු වෙන බවත් රාජපක්ෂ මහතා කියා සිටියා.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට අදහස් කළේ පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම වැඩි නොවීම බව ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 2022 දී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ රුපියල් බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙන බව කියා සිටි ඒ මහතා මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල 6%කින් සෑම වසරකම වැඩි වෙන බවත් කියා සිටියා.

ශ්‍රී ලංකාව තුළ විකිණීමේ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. සෞඛ්‍යමය පැත්තෙන් එය ඉතාම වටිනා දෙයක්. දුම් වැටිය නිසා දවසකට 60ක් මියයනවා. දුම්වැටි නිසා ඇතිවන රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමට ලැබෙන ආදායමට වැඩියෙන් තුන් හතර ගුණයක් වැය වෙනවා” යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 07:57