May 01, 2024

'ඩියුටි ෆ්‍රී' එකෙන් බඩු ගන්න අයට ගුවන්තොටුපොළෙන් විශේෂ නිවේදනයක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන තීරු බදු සහනය යටතේ හිමිකම් ඇති ගුවන් මගීන් ගුවන් තොටුපළ වෙත පැමිණෙන දිනම තමන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට කටයුතු කළ යුතු බව ගුවන් තොටුපළ බලධාරීන් ඊයේ (07) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ වෙත කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙම අවස්ථාව හිමි කර දී තිබෙනවා.

එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ගේ එන්නත් කාඩ්පත ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පරීක්ෂා කර බලා එම ගුවන් මගීන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්නම් ඔවුන්ගේ කාඩ්පත මත "රතු මුද්‍රාවක්" තබා සනාථ කිරීමෙන් පසුව ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පහසුකම් සළසා දී තිබෙනවා. 

එහෙත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණි දිනට පසු දිනවල කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිළදී ගැනීම සිදු කළ නොහැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

 

Rate this item
(0 votes)