May 19, 2024

ඕමානයේ සිටින විදෙස් ගත ලාංකියන්ගේ ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

රෝහල්වලට බෙදාහැරීමට නියමිත මෙම පරිත්‍යාගය සඳහා ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සහෝදරත්වය, බැංකුකරුවන් හා ඕමානයේ වෙසෙන අනෙකුත් වෘත්තිකයන්‍ විසින්  දායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මෙම පරිත්‍යාගය කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති උත්සවයක දී භාර දීමට කටයුතු කළා.

අනතුරුව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාට සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතාට භාර දීම සිදුකළා.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පරිත්‍යාග කටයුත්ත සම්බන්ධීකරණය කර එය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සම්පාදනය කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 13:20