May 20, 2024

ශ්‍රී ලංකාවේ ස්ට්‍රෝබෙරි වගාවත් අවදානමේ

නුවරඑළිය සීත දේශගුණයට හිතකර වු බහුදේශිය පළතුරක් වශයෙන් හදුන්වන ස්ට්‍රෝබෙරි වගාවට නිසි වෙළෙඳපොළක් සහ ස්ට්‍රෝබෙරි වගාවට යොදන රසායනික පොහොර නොමැති විම නිසා එම වගාවෙන් ඉවත් වී එලවළු වගාවට යොමු විමට ස්ට්‍රෝබෙරි වගාකරුවන් තිරණය කර තිබෙනවා.

නුවරඑළිය නගරය ආශ්‍රිතව මාගස්තොට, සිතාඑලිය, මිපිලිමාන, යන ප්‍රදේශවල ස්වයං රැකියාවක් වශයෙන් ගොවියන් විශාල පිරිසක් සහ වාණිජ වශයෙන් කිහිප දෙනෙකුම ස්ට්‍රෝබෙරි වගාවේ මේ වන විට නිරතව සිටියි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්පළාත් අතර සංචරණ සිමා පැනවිමත් සමඟ දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලිය  ප්‍රදේශයට නොපැමිණිම හේතුවෙන් නැවුම් ස්ට්‍රෝබෙරි අලෙවිය, ස්ට්‍රෝබෙරි ආශ්‍රිත නිෂ්පාදන සහ තමන්ගේ අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි තත්ත්වය හමුවේ ඵලදාවට දැඩි ලෙස හානි සිදු වී ඇති බවයි ස්ට්‍රෝබෙරි වගාකරුවන් කියා සිටින්නේ.

ස්ට්‍රෝබෙරි වගාවෙන් නිෂ්පාදිත ජැම්, අයිස්ක්‍රිම්, කැරමල්, පිට්සා සදහා දැඩි ඉල්ලුමක් එවකට පැවතිම හමුවේ ස්ට්‍රෝබෙරි වගාකරුවන් තම වගාවලින් හොද ආදායමක් උපයා ගත් අතර, වර්තමානයේ එම වගාව හුදෙක්ම නුවරඑළිය ප්‍රදේශයට ආවේනික වු කුරුලු විශේෂයන්ට ආහාරයක් පමණක් වී ඇති බවයි එම වගාකරුවන් කියා සිටියේ.

නුවරඑලියේ ස්ට්‍රෝබෙරි වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දී සිය ස්ට්‍රෝබෙරි වගාව සදහා නිසි වෙළෙඳපොළක් සකස් කරදෙන ලෙස නුවරඑලිය ස්ට්‍රෝබෙරි වගාකරුවන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 16:38