April 27, 2024

දියවන්නාවෙන් මතු වූ තෙල් ගැන වාර්තාව නිකුත් වෙයි

September 27, 2021

පසුගිය 22 වැනිදා දියවන්නා ඔයේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව පිළිබඳව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට නියෝග කර තිබුණා.

එහිදී අමාත්‍යවරයා විසින් පවසා තිබුණේ දියවන්නා ඔයට තෙල් එකතු වීම සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදුකළාද යන්න පිළිබඳව සොයා බලන ලෙසෙයි.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාළ විමර්ශනවලින් පසුව වාර්තාවක් නිකුත් කර තිබුණා.

එම වාර්තාව පහතින්,

ඉකුත් සතියේ දී දියවන්නාවේ වාර්තා වූ තෙල් තට්ටුව සම්බන්ධව විමර්ශන වාර්තාව පරිසර අමාත්‍යවරයාට බාර දෙයි.

ඉකුත් සතියේ දී දියවන්නා ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හිතවතෙක් විසින් අමාත්‍යවරයා වෙත එවා තිබුනි. මේ සම්බන්ධව වහාම කණ්ඩායමක් යොදවා විමර්ශණය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් යොදවා මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලදී. ඒ අනුව එහි වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාරදී තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ රාජගිරිය ෆෙයාර්වේ රෙසිඩන්සීස් ව්‍යාපෘතිය හා බුත්ගමුව පාලම අසල දියවන්නා ඔය අසලිනි.

ඒ අනුව එම කණ්ඩායම් එකී ස්ථානවලින් ජල සාම්පල් ගෙන පරීක්ෂාවට ලක් කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ මෙම ස්ථානවල ජලය කළුපැහැගැන්වී තිබු බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවත්ය. එමෙන්ම එම ස්ථානයේ තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම නිසා හටගන්නා දුර්ගන්ධයක් වහනය වූ අතර ජලය බැස යාම ක්‍රමවත්ව සිදු නොවී තිබේ. එමෙන්ම ඒ මත දණ්ඩකින් කැලතූ විට පතුලේ සිට වායු බුබුලු සමග තුනී තෙල් තට්ටුවක් මතුවන අතර ඒවා ජලය මතුපිට පාවී යන ස්වාභාවයක් ද නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව සිදුකරන ලද නිරීක්ෂණයන් අනුව කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහා ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී/ බැක්ටීරියා වර්ධනයවීම මත මෙම තත්ත්වය වර්ධනය වී තිබේ. එමෙන්ම මෙහි විවිධ මාර්ගවලින් ඇළට සම්බන්ධ වන අපද්‍රව්‍ය හා අපවිත්‍ර ජලය නිසා ලැබෙන නයිට්‍රජන් හා පොස්පරස් ප්‍රමාණය අනුව ජලයේ සුපෝෂණ තත්ත්වයක් ද වර්ධනය විය හැකිය.

එමනිසා මෙම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දෙශ තුනක් ක්‍රියාත්මක කරන ලෙස ද විමර්ශන කණ්ඩායම දැනුම් දී ඇත. ඒ අතර ඒ අවට ජනතාව විසින් පිරිපහදු නොකරන ලද හා අපවිත්‍ර ජලය දියවන්නාවට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අප ජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද සොයා බැලය යුතු බවත් ඔවුන් දක්වා තිබේ.

එමෙන්ම  රසායනාගාර විශ්ලේෂණ වාර්තාව අනුව පහත කරුණු හෙළිදරව් කර ගන්නා ලදී.

සිද්ධිය වූ ස්ථානයේම සාම්පල ලබාගත් ජල නියැදිවල (control sample)

(a) සංසරණ ජලය සඳහා වූ සුළු පිරිපහදුවකින් පානය කිරීම සඳහා වූ ප්‍රමිතීන්ට අදාලව (Category A) රසායනික ඔක්සිජන් ඉල්ලුම හා  අචිලතාවය ඉක්මවා ගොස් ඇතිබව.

(b) සංසරණ ජලය සඳහා වූ නෑම සහ විනෝදාස්වාදය කටයුතු සඳහා වූ ප්‍රමිතීන්ට අදාළව රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉක්මවා ගොස් ඇති බව. (Category B)

(c) සංසරණය ජලය සඳහා වූ ජලජ ජීවින් සඳහා වූ ප්‍රමිතීන්ට අදාලව (Category C) ජලයේ ඇමෝනියා ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව.

2. සිද්ධිය වූ ස්ථානයෙන් ලබාගන්නා ලද ජල සාම්පලවල

(a) සංසරණ ජලය සඳහා  වූ Category A ප්‍රමිතීන්ට අදාළව දියවූ ඔක්සිජන් ප්‍රමාණය, රසායනික ඔක්සිජන් ඉල්ලුම තෙල් හා ග්‍රීස් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව.

(b) සංසරණ ජලය සඳහා වූ Category B ප්‍රමිතියට අදාළව රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉක්මවා ගොස් ඇති බව.

(c) සංසරණ ජලය සඳහා වූ Category C ප්‍රමිතීන්ට අදාළව දියවූ ඔක්සිජන් ප්‍රමාණය, රසායනික ඔක්සිජන් ඉල්ලුම, තෙල් හා ග්‍රීස් ප්‍රමාණය, ජලයේ දියවූ පොස්පේට් ප්‍රමාණය, ඇමෝනියා ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව අනාවරණය වීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 September 2021 16:11

Related items