April 27, 2024

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව ගැන ඇමතිගෙන් ඉඟියක්! පළමුවෙන් කරන දේ ගැන කියයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදල සඳහා කපා දැමීමට තීරණයක් ගෙන තිබෙනවාද යන්න ප්‍රශ්නයට අද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු දී තිබෙනවා.

පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළකළා.

වැටුප ගැන පොරොන්දුවක්

රජය ආර්ථික අසීරුතාවයන්ට මුහුණ දුන්නත් රජයේ සේවක වැටුපෙන් සත පහක්වත් කොවිඩ් අරමුදල සඳහා කපා දමන්නේ නැතැයි අමාත්‍යවරයා සඳහන් කරනවා.

නමුත් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුවා.

“රජය ආර්ථික වශයෙන් යම් අසීරුතාවන්ට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් විදේශ විනිමය හිඟකම අපිට දැඩි ලෙස බලපා තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුනත් එම බර මහජනතාවට පැවරීමට සූදානම් නැහැ. අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවල දී අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ මෙම වසංගත තත්ත්වය සමග ආර්ථික කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද යන කාරණාවන් සම්බන්ධවයි. සමහරු සමාජය තුළ මතයක් ගොඩ නගමින් සිටිනවා රජය විසින් රාජ්‍ය සේවක වැටුප සියයට 50කින් අඩු කිරීමට කටයුතු කරන බවට.

වැටුපට යම් බලපෑමක්

නමුත් මම පැහැදිළිවම කියන්නේ අපි රාජ්‍ය සේවක වැටුපෙන් සත පහක්වත් මෙම අසීරු අවස්ථාවේ දී අඩු කරන්නේ නැහැ. නමුත් වෙනත් දීමනාවන් එනම් විශේෂයෙන් අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකියි. කොහොම වුනත් කොරෝනා තත්ත්වය මත රජයේ කාර්යාල වසා දමා තිබෙනවා. ඇතැම් කාර්යාලවල සේවයට කැඳවන්නේ එම ආයතනවල ප්‍රධානියාගේ අභිමතය පරිදියි. එමනිසා අත්‍යවශ්‍යම අය පමණයි කාර්යාලවල සේවය සඳහා කැඳවන්නේ.

එමනිසා අතිකාල ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම දුරබැහැර ප්‍රදේශවල රාජකාරි සඳහා නොයන බැවින් ගමන් වියදම් හා සංයුක්ත දීමනා ලබා ගැනීමට සිදුවන්නේත් නැහැ. එවැනි දීමනා අඩු කළත් වැටුප කිසිසේත්ම අඩු කරන්නේ නැහැ. පවතින වසංගත තත්ත්වය මත ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාරණයක් නොවෙයි. ඒ නිසා දේශපාලනඥයින් වශයෙන් අපි අපේ ආදර්ශය ලබා දෙනවා. රජයේ වියදම් උපරිම ආකාරයෙන් අවම කරනවා. ඒ වගේම අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හිමිවන වරප්‍රසාද කැප කරන්නට අපි සූදානම්. දැනටමත් මන්ත්‍රීවරු රැසක් ඒ සඳහා එකඟතාවය පළ කර තිබෙනවා.

අපි නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාම අපේ මාසික වැටුප පරිත්‍යාග කළා. ඒ වගේම අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1300ක් පමණ සිටිනවා. ඔවුනුත් තම මාසයක වැටුප පරිත්‍යාග කර තිබෙනවා. සෙසු අයත් එම ආදර්ශය ලබා දිය යුතුයි.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 August 2021 11:43

Related items