April 26, 2024

මහවැලි ගං ඉවුර ගොඩ කර දේශපාලන හයියෙන් හමුදාවේ ලොක්කෙක් හෝටලයක් හදලා

යුද හමුදාවේ විශ්‍රාමික උසස්‌ නිලධාරියෙකු විසින්‌ නීති විරෝධීව මහවැලි ඟඟේ හක්කිඳ දූපත්‌ අසල ඉදි කළ බව කියන හෝටලයක්‌ හැකි ඉක්මනින්‌ රජයට පවරා ගෙන අධ්‍යයන කේන්ද්‍රයක්‌ බවට පත්‌ කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර විසින්‌ නිලධාරීන්ට උපදෙස්‌ දී තිබෙනවා බව වාර්තා වෙනවා.

මහවැලි ගඟෙහි රක්ෂිත කලාපය ලෙස සඳහන්‌ නාම පුවරුව අසලින්‌ අඩි හැත්තෑවක පමණ ගඟේම කොටසක්‌ පස්‌ පුරවා ගොඩ කර ඒ මත මේ හෝටලය ඉදිකොට ඇතැයි හෙළි වූ බව පරිසර අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළා.

එය ඉදිකොට ඇත්තේ මහවැලි ගඟේ පළලින්‌ වැඩිම ස්ථානයේ බවද එම ප්‍රකාශකයා පැවසුවා.

ප්‍රධාන මාර්ගයේ සිට අඩි 40ක්‌ පමණ වන්නට දුරින්‌ මහවැලි ඟඟ ගලා බසින බවද, ගං ඉවුර අඩි අටක්‌ පමණ පළලට සිටින සේ පස්‌ පුරවා මේ හෝටලයේ ඉදිකිරීම් කොට තිබූ බවද එම ප්‍රකාශකයා සඳහන්‌ කළා.

මේ හෝටලයේ නිරීක්ෂණ කටයුතු අතරතුරදී පරිසර ඇමැතිවරයා එහි ඉදිකිරීම්‌ සඳහා අවසර ලබා ගෙන ඇත්තේ කෙසේද යන්න විමසා තිබෙනවා.

එම අවස්ථාවට අදාළ අංශවල සියලු නිලධාරින්‌ එක්ව සිටි නිසා ඔවුන්ගෙන්‌ කිසිවෙකුත්‌ මේ සඳහා අවසර ලබා දී නැතැයි ඇමැතිවරයා හමුවේ හෙළි වූ බව ප්‍රකාශකයා පැවසුවා.

නීති විරෝධීව ගං ඉවුර වනසමින්‌ ඉදිකොට තිබූ මේ හෝටලයේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නිම වීමට ආසන්න වී ඇතත්‌ එහි අයිතිකරු බව පැවසෙන විශ්‍රාමික හමුදා නිලධාරියා අනුමැතිය ලැබෙයි යන විශ්වාසය මත පදනම්ව මේ ඉදිකිරීම කර තිබූ බවද ඇමැතිවරයා හමුවේ අනාවරණය වී තිබෙනවා.

මුදල් හා දේශපාලන බලය යොදා ගනිමින්‌ ඉදි කළ මේ හෝටලය සඳහා ඒ අවට තිබූ වසර සිය ගණනක්‌ පැරණි කුඹුක්‌ ගස්‌ 1000කට වැඩි ප්‍රමාණයක්‌ කපා දමා ඇතැයි බැලූ බැල්මට අනුමාන කළ හැකි බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉකුත්දා පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරීන්‌ මහනුවර නගරය අසලින්‌ ගලා බසින මහවැලි ඟඟ ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශය නිරීක්ෂණය කිරීම සඳහා ගැටඹේ, පේරාදෙණිය ඇතුළු ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරකාවක නිරත වූ අවස්ථාවේදී මේ බව හෙළි වී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, මහනුවර නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව හා මහනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙන්ම පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්‌ පිරිසක්ද මේ අවස්ථාවට එක්‌ වී තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 27 January 2022 10:35

Related items