April 27, 2024

ඉදිරියේදී තහනම් කිරීමට සූදානම්වන නිෂ්පාදන වර්ග 07 මෙන්න

September 09, 2021

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුණු වහාම නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ (08) පරිසර අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා, “පසුගිය මාර්තු 31 සිට එක්වරක් පමණක් භාවිතා වන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05ක් අපි තහනම් කළා. පරිසරයට විශාල විනාශයක් කළ සැෂේ පැකට් අපි එම ලැයිස්තුව යටතේ තහනම් කළා. දැන් වෙළෙඳපොළේ ග්‍රෑම් 20ට අඩු ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට් අලෙවි කරන්නේ නැහැ. අදාළ සමාගම් ඒවා නිෂ්පාදනය හා බෙදාහැරීම අත්හිටවනු ලැබ තිබෙනවා. ඒ වගේම අගෝස්තු 01 සිට අපි පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් තහනම් කළා.දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ දිරාපත්වන ලන්ච්ෂීට් පමණයි. ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන භාවිතය පාලනය කිරීම සඳහා ගෙන යන ලද වැඩ පිළිවෙළෙ යටතේ එක්වරක් පමණක් භාවිතා වන තවත් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීම සඳහා අනුමැතිය පසුගිය සතියේ ලැබුණා."

"නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලද පසු ඊට අදාල ගැසට් නිවේදනය වහාම නිකුත් කරන්න අපි කටයුතු කරනවා. ඒ අනුව පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන්, ප්ලාස්ටික්වලින් නිපදවන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු, ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, ප්ලාස්ටික් කෘතිම තණ ඇතිරිළි, පොලිතීන් මල්මාලා, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම,12X 05X 10 ප්‍රමාණයේ පොලිතීන්වලින් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි හා සිලි සිලි බෑග් ඒ අනුව තහනම් වෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)