May 08, 2024

මේ ඕවට කාලය නෙමෙයි - පොහොට්ටු ලේකම්ට ලියුම් කණ්ඩායමෙන් ප්‍රතිචාර

යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ගෙවිදු කුමාරතුංග මහතාද  රට වසන ලෙස ඉල්ලමින්  ආණ්ඩුවේම සිටින හවුල්කාර පක්ෂ 10ක් ජනපතිවරයා වෙත යොමුකර ලිපියට අත්සන් තැබූ මන්ත්‍රීවරයෙක්.

ලේකම්ගේ ප්‍රකාශය ගැටළුවක් නෙමෙයි

මේ එවැනි වාද විවාද වලට පැටලෙන්න සුදුසු වේලාවක් නොවන බවයි මන්ත්‍රීවරයා පොදු ජන පෙරමුණ ලේකම්වරයා මාධ්‍ය හමුවක් තබමින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර ලෙස සඳහන් කරන්නේ.

ඒ නිසා පොදු ජන පෙරමුණ ලේකම්වරයාගේ කරන ප්‍රකාශ ගැන ලිපියට අත්සන් තැබූ සිය පාර්ශවයට ගැටලුවක් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

වාද කළ යුතු කාලයක් නෙමෙයි

රට තීරණාත්මක අභියෝගයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ මොහොතේ උදාවී තිබෙන්නේ ආණ්ඩු පක්ෂය සමග පමණක් නොව විපක්ෂයේ පක්ෂ සමග මෙන්ම වෘත්තීය සමිති සමගද වාද විවාද කළ යුතු කාලයක් නොවන බවයි සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දේ ගැන මතයක් ගොඩ නගන්න මහජන නියෝජිතයින් හැටියට හවුල් පක්ෂ කණ්ඩායම කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

මහ ලේකම් එල්ල කළ චෝදනා

රට වසා දමන ලෙස ඉල්ලමින් ජනපතිවරයා වෙත ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ 10ක් යැවූ ලිපිය ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් , කැබිනට් සාමූහික වගකීම කඩකිරීමක් , පිට කොන්දක් නැති දේශපාලනය කිරීමක් මෙන්ම සමාජය ඉදිරියේ පුහු වීරයන් වීමට ගන්නා උත්සාහයක් ලෙසටයි පොදු ජන පෙරමුණ ලේකම්වරයා මාධ්‍ය හමුව තබමින් චෝදනා කළේ.

ඒ නිසා විශේෂයෙන්ම ලිපියට අත්සන් තැබූ  කැබිනට් ඇමතිවරුන් තිදෙනා ගැන ජනපතිවරයා තීරණයක් ගත යුතු බවත් හවුල්කාර පක්ෂද ලිපියට අත්සන් තැබීම අනුමත කිරීමට නොහැකි බවත් මහලේකම්වරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 August 2021 16:25

Related items