April 28, 2024

විමල්, වාසු, උදය ආණ්ඩුවෙන් දොට්ට? පොහොට්ටු ලේකම් දැඩි තීන්දුවක් ගනී

November 01, 2021

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් ආණ්ඩුව තුළ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන්නේ ආණ්ඩුව විවේචනය කරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව කටයුතු කළ යුතු බවයි.

එම පිරිස පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂ ඉල්ලීමක්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බවයි. 

එම පිරිසේ ක්‍රියා කලාපය සහ හැසිරීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බරපතළ තර්ජනයක් හා ගැටලුවක් හෙයින් මෙලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළා.

බාහිර කුමන්ත්‍රණයක්

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුමක් තවමත් අත්සන් කර නැති හෙයින් ඒ පිළිබඳව කිසිසේත්ම කලබල නොවන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී මෙම පිරිස මේ ආකාරයට ආණ්ඩුව පදනම් විරහිතව විවේචනය කරමින් කටයුතු කිරීම ඉතා පහත් කැත වැඩක් බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

මෙය කිසියම් බාහිර කුමන්ත්‍රණයක් අනුව සිදුවන්නක් බවට බොහෝ දෙනෙකුට සැක මතුවී ඇතැයිද ඔහු පැවසුවා.

බරපතළ සැකයක්

මේ සම්බන්ධයෙන් තවම ඇත්තේ මූලික එකඟතාවක් පමණක් හෙයින් ගිවිසුම සකස් කිරීමට පෙර සියලු පක්ෂවල නිර්දේශ ඉදිරිපත් කරන්නැයිද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් ඒ ආකාරයට සද්භාවයෙන් සහ නම්‍යශීලීව කටයුතු කරන අවස්ථාවක මේ පිරිසේ හැසිරීම පිළිගත නොහැකි බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළා.

මේ අය මෙලෙස කටයුතු කරන්නේ කාගේ වුවමනාවට දැයි බරපතළ ප්‍රශ්නයක් සහ සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

එසේම මෙම ගිවිසුම අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවටද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී ස්ථිරසාර ලෙස පැවසුවේ යැයිද ඔහු පුවත්පතකට අදහස් පළ කරමින් සඳහන් කර තිබුණා.

Rate this item
(1 Vote)

Related items