May 10, 2024

ඇෆ්ගන් සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්! Featured

තලේබාන් සංවිධානය විසින් බලය අත්පත් කරගත් ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය හරහා විදේශ අමාත්‍යංශය පවසන්නේ ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ යළි මෙරටට ගෙනඒම කෙරෙහි මූලික අවධානය යොමු කරන බවයි.

දැනට ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලාංකිකයන් 86 දෙනෙකු සිටින අතර ඉන් 46 දෙනෙකු මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා. තවත් ලාංකිකයන් 20 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් තවත් 20 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේම රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

“ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටී. ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි අපගේ මූලික අවධානය යොමු වී ඇත. 

ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. 

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. 

මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී. ඇෆ්ගනිස්තානයේ සිටින මුළු ශ්‍රී ලාංකිකයින් අසූ හය (86) දෙනා අතුරින්, හතලිස් හය (46) දෙනෙකු මේ වන විටත් ඉවත්කර ගෙන ඇත. 

අද වන විට, ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත්කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටී. 

මේ අතර, ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ඇෆ්ගනිස්තානයේම රැඳී සිටීම සඳහා කැමැත්ත පළකොට ඇත.

තලෙබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලෙබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි. 

ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්තානයේ  කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තලෙබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වේ.

රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්‍ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලෙබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරයි.

දැන් තලෙබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්තානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.

සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙයි. 

රජය මෙම තත්ත්වය දෛනිකව හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.

සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්‍ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටී.”

Rate this item
(1 Vote)