May 10, 2024

ඇෆ්ගන් ත්‍රස්තයන්ගෙන් ලාංකික බෞද්ධයන්ට දැනුම් දීමක්!

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමට පෙර හෝ පසුව සිය සංවිධානයට කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නොතිබුණු බවට තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙක් මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වෙත පවසා තිබෙනවා.

එම පුවත්පතට විශේෂ ප්‍රකාශක් කරමින් තලේබාන් ප්‍රකාශක සහ ජාත්‍යන්තර සාකච්ඡාකරුවෙකු වන සුහයිල් ෂහීන් විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු එහිදී පවසා සිටියේ තලේබාන් සංවිධානය යනු ස්වාධීන විමුක්ති බලකායක් බවයි. දෙමළ කොටි සංවිධානය සමඟ තමන්ගේ කිසිදු ආකාරය සම්බන්ධයක් නොමැති බවද ඔහු සඳහන් කර තිබුණා.

ගෙවී ගිය වසර 20ක් පුරාවට විදේශ බලවේගයන් සිය රට තුළ සිටි බවත්, එම බලවේගවලින් ඇෆ්ගනිස්ථානය මුදාව ගැනීම සඳහා සටන් කළ ස්වාධීන විමුක්ති කණ්ඩායමක් ලෙසද ඔහු විසින් තලේබාන් සංවිධානය හඳුන්වා සිටියා.

ඇෆ්ගනිස්ථානයේ බලය හුවමාරු කර ගැනීම සඳහා පවතින රජය සමඟ සාමකාමී සාකච්ඡාවක නිරත වීමට තම සංවිධානය අපේක්ෂා කරන බවද එහිදී එම ප්‍රකාශකයා පුවත්පත සමඟ ප්‍රකාශ කර තිබේ.

තලේබාන් සංවිධානය විසින් 2001 වසරේ මාර්තු මාසයේ දී ලෝක උරුමයක් සහ ඓතිහාසික වටිනාකමකින් යුතු පෞරාණික බෞද්ධ සිද්ධස්ථානයක් වන බාමියන් බෞද්ධ ප්‍රතිමාව විනාශ කර තිබුණා.

දැන් ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් ත්‍රස්තයන්ට හසුවීමත් සමඟ නැවත බෞද්ධ සිද්ධස්ථානයන් වෙත තර්ජනයක් සිදුවේවි දැයි බියක් ඇති වෙමින් තිබෙනවා.

නමුත් තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයා මෙරට පුවත්පතට පවසා තිබුණේ තලේබාන් නායකත්වයෙන් යුතු පරිපාලනයක් තුළ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බව අවධාරණය කර තිබෙනවා.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඇෆ්ගනිස්ථානය තුළ තිබෙන කිසිදු බෞද්ධ ස්ථානයක් අවදානමට ලක් නොවන බවයි. අවදානමකට ලක්වන බවට පළ වන සියලු ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කර සිටියා.

තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නොසලකන ලෙස ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කරන එම ප්‍රකාශකයා පවසා සිටියේ අතීත ශ්‍රී ලංකාව නිදහස් කරගැනීම සඳහා මුතුන් මිත්තන් සටන් කළා සේම ඇෆ්ගනිස්ථානය නිදහස් කරගැනීමේ සටනේ සටන්කරුවන් තම සංවිධානය බවයි. 

නමුත් තම සංවිධානය පිළිබඳව ලෝකය පුරාවට වැරැදි ප්‍රකාශයන් ප්‍රචාරය වී ඇති බවද ඔවුන් සඳහන් කර සිටියා.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ බලය සම්පුර්ණයෙන්ම පාහේ තලේබාන් සංවිධානය විසින් යටත් කරගෙන සිටියි. 

Rate this item
(5 votes)
Last modified on Monday, 16 August 2021 11:28