May 03, 2024

දරුවන්ට ඉගෙන ගන්න ලබන සතියේ සිට රූපවාහිනී නාලිකා 06ක්

අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති අතර ගුවන්විදුලි නාලිකාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ද රූපවාහිනී නාලිකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධ ව PEO TV ඔස්සේ විකාශන කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.

මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට තිබෙනවා.

අවසන් තීන්දුව ලබන සතියේ

මේ සම්බන්ධ ව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව රැස්වීමෙන් අනතුරු ව වැඩසටහන පෙළගැස්ම සහ අදාළ විකාශන කටයුතු පිළිබඳ අවසන් තීන්දු තීරණ ගෙන එළඹෙන සතියේ සිට විකාශන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

අධ්‍යාපන නාලිකා ආරම්භ කිරීම සදහා අමාත්‍යංශය පසුගිය කාලය තුළ විශාල වැඩකොටසක් නිහඬව සිදුකළ අතර ඒ පිළිබඳ පැහැදිලිකර දීම සඳහා එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය උපයෝගී කර ගන්නා බවත් අමාත්‍යංශය මඟින් මෙතෙක් සිදුකළ වැඩසටහන් සහ ඒවායෙහි ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කිරීමේ හැකියාව එදිනට ලැබෙන බවත් ඔහු සඳහන් කළා.

හොඳම විකල්පය

සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු බවත් පවතින කොවිඩ් අර්බූදය හමුවේ මේ වන විට එම සැලසුම් ක්‍රියාත්මක කිරීම අනිශ්චිත වන අතර පවතින තත්වය හමුවේ හොඳම විකල්පය මාර්ගගත (Online) අධ්‍යාපනය බවට පත් වී තිබෙනවා.

අධ්‍යාපන නාලිකා විකාශනය කිරීම සම්බන්ධ සියලු තීන්දු තීරණ ඉතා ඉක්මනින් ලබා ගත යුතු බවත් දැනට විකාශනය කෙරෙන ගුරු ගෙදර ඊ තක්සලාව ආදී වැසටහන්වලට අමතරව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම විස්තෘත වැඩසටහනට අනුව ඒ ඒ ශ්‍රේණි සඳහා වෙන වෙන ම රූපවාහිනී නාලිකාව බැගින් ආරම්භ කර අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතී.

ආර්ථික අර්බූද, සෞඛ්‍ය අර්බූද මෙන් ම ගුරු වැටුප් විෂමතාව වගේ ගැටලු කොතරම් තිබුණ ද දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූලිකත්වය ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

Rate this item
(2 votes)
Last modified on Friday, 13 August 2021 15:38