May 19, 2024

තවත් භයානක වෛරසයක් - ගැබිණියන් දැඩි අවදානමක Featured

ලංකාවට ඇතුළු වීමේ අවදානමක්

සිකා (Zika) වෛරසය මෙරට තුළ පැතිර යාමේ අවදානමක් හටගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේවන විට එම වෛරසය ඉන්දියාවේ කේරල ප්‍රාන්තය තුළ බොහෝ සෙයින් පැතිර යන බව යි වාර්තා වන්නේ.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ මේ හේතුවෙන් ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින් විශේෂ පරීක්ෂාවකට ලක් කළ යුතු බව යි.

ආවොත් ලේසි නෑ

සිකා වෛරසය පැතිර යනු ලබන්නේ මදුරුවන්ගෙන්වන අතර ඒ අනුව සිකා රෝග වාහකයින් ශ්‍රී ලංකාව තුළ බහුලයි.

වෛරසය දිවයින තුළට පැමිණියහොත් එය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව පවතින බව වෛද්‍ය පෙරේරා මහතා පෙන්වා දෙනවා.

උණ, ඇස් රතුවීම, ඇඟපත වේදනාව, හන්දි කැක්කුම හා සමේ කුෂ්ඨ ඇතිවීම වැනි තත්ත්ව මෙහි රෝග ලක්ෂණ යි.

ගැබිණියන් අවදානමේ

වඩාත් බරපතළ කරුණ වන්නේ ගැබිණි මාතාවන්ට සිකා වෛරසය ආසාදනය වුවහොත් බිහිවන දරුවාගේ විවිධ විකෘතිතා හටගත හැකි වීම යි.

විශේෂයෙන් සිකා ආසාදනය වූ මව්වරුන්ගෙන් ඉපදෙන බිළිඳුන්ගේ මොළය කුඩා වීමේ දැඩි අවදානමක් පවතිනවා.

ඉතිහාසය

පෙර පැවසූ පරිදි සිකා වෛරයේ වාහකයා වන්නේ මදුරුවන්වන අතර ඩෙංගි වෛරසයේ වාහකයන් වන ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් ආදී මදුරුවන් සිකා වෛරසයේ ද වාහකයන් ලෙස හැඳින්විය හැකියි.

මෙම වෛරසය ප්‍රථමයෙන් විද්‍යාත්මකව හඳුණාගත්තේ උගන්ඩාවේ සිකා වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඒ 1947 වසරේ දියි. වෛරසයට මෙම නම ලැබී ඇත්තේ ද ඒ අනුව යි.

2015 - 2016 වසර කාලයේ දී දකුණු සහ උතුරු ඇමරිකා මහද්වීප තුළ සිකා වෛරසය වසංගත තත්ත්වයක් සේ පැතිර ගියා.

කළ යුතු දේ

මදුරු දෂ්ඨනයට අමතරව වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම තුළින් ද සිකා වෛරසය ශරීරගත විය හැකි බව නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා.

සිකා වෛරසය පතුරුවන මදුරුවන් බොහෝ විට ලේ උරා බීම සිදුකරන්නේ උදෑසන සහ සවස්කාලයේ වන අතර විශේෂයෙන් ගැබිණි මව්වරුන් මදුරු දෂ්ඨනයෙන් වැලකී සිටීමට ගත හැකි පියවර අනුගමනය කිරීම වැදගත්වනවා.

එමෙන්ම ඩෙංගු මර්ධනයේ දී මෙන්ම මදුරුවන් බෝ විය හැකි ස්ථාන සමාජයක් වශයෙන් විනාශ කිරීමට කටයුතු කිරීම ද සිකා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ උපක්‍රමයක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 July 2021 10:21