May 18, 2024

කවුද මේ හමාස් සටන්කාමීන්? ඔවුනට සහාය දෙන්නේ කවුද? - මේ ඔබ දැනගත යුතු කතාවක්

2007 වසරේදී ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ තිබෙන ගාසා තීරයේ බලයට පත්වෙන හමාස් සංවිධානය යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලින් බහුතරයක් ත්‍රස්ත සංවිධානයක් ලෙස වර්ගීකරණය කර තිබේ. නොර්වේ සහ ස්විස්ලන්තය මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හෝ දේශපාලනික සංවිධානයක් ලෙස පිළිගෙන නොමැති අතර ඔවුන් පමණක් මධ්‍යස්ථ මතයක සිටියි.

බොහෝ පිරිසක් මෙම සංවිධානය රැඩිකල් ඉස්ලාමීය සංවිධානයක් ලෙස හඳුන්වනු ලබන අතර මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ එම සංවිධානයේ ආරම්භය සහ එය නිර්මාණය වූ ආකාය පිළිබඳවයි.

හමාස් සංවිධානයේ බිහි වීම

ඊශ්‍රායලය සමඟ පලස්තීනය සාමය ඇති කරගත් අවස්ථාව (1993) වමේ සිට පිළිවළින් ඊශ්‍රායල අගැමති යිට්ෂක් රාබින්, ඇමෙරිකානු ජනපති බිල් ක්ලින්ටන් සහ පලස්තීන අග්‍රාමාත්‍ය යසර් අරෆතත්

හමාස් සංවිධානය බිහි වන්නේ 1980 වසරේ දීය. පලස්තීනයේ සිටි විශිෂ්ට පාලකයෙකු වන දිවංගත යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල්ඕ) මෙම හමාස් සටන්කාමීන්ගේ නිර්මාණයට මුල සිටම විරුද්ධව සිට තිබේ.

බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ අරෆත්ගේ පී.එල්.ඕ සංවිධානයට ප්‍රතිවිරුද්ධව නැගී සිටිය හැකි ලෙස හමාස් සංවිධානය නිර්මාණය කිරීම පිටුපස ඊශ්‍රායලය සිටි බවයි. එමෙන්ම මෙම හමාස් සටන්කාමීන් නිර්මාණය කිරීමේදී ඊශ්‍රායලය සැලැකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ බවටද සඳහන් වුණත් ඊශ්‍රායලය එම චෝදනාවන් සහ මතයන් ප්‍රතික්ෂේප කර තිබේ.

පී.එල්.ඕ මෙන් නොව හමාස් සංවිධානය ඊශ්‍රායලයට පැවැත්මක් ඇති බවට පිළිනොගන්නා කණ්ඩායමකි. හමාස් සංවිධානයේ ලාංඡනයෙන් පවා ඇත්තේ ජෙරුසලමේ ඇති පූජනීයම ස්ථානයක් වන කන්ද මත ඇති ගෝලාර්ධයාකාර දේවස්ථානය වන අතර ඊශ්‍රායලයට නැගෙනහිර ඉවුරේ ඇති ගාසා තීරය සහ බටහිර ඉවුරේ ඇති පලස්තීනය එකම රටක් ලෙස ඔවුන් දැඩිව විශ්වාස කරති.

1987 වසරේ දී පලස්තීනය විසින් ඊශ්‍රායලයට එරෙහිව ආරම්භ කළ පළමු ඉන්ටිෆාඩාව (කැරැල්ල) අවසන් කරමින් 1993 වසරේ දී ඔස්ලෝ ගිවිසුම මඟින් යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල්ඕ) ඊශ්‍රායලය සමඟ සාමය ඇති කරගත්තේ ය. නමුත් හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සිය සටන දිගටම කරගෙන යන ලදී.

2006 වසරේ ගාසාවේ පැවැති මහා මැතිවරණයෙන් හමාස් සංවිධානය බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කරනු ලබන අතර ගාසා තීරයේ බලය හමාස් සංවිධානයට හිමි විය. බටහිර ඉවුරේ බලය මහමුද් අබ්බාස් යටතේ ෆටා පක්ෂය විසින් පාලනය කරගෙන යනු ලබයි.

හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යමින් කියා සිටියේ එය “ආත්මාරක්ෂාව” වෙනුවෙන් ක්‍රියා කරන බවයි. මෙම සංවිධානය 2008/09, 2012 සහ 2014 දී ඊශ්‍රායලයේ ත්‍රිවිධ හමුදාවට එරෙහිව දැඩි සටනක නිරත විය.

ගාසා තීරයේ තත්ත්වය මොන වගේද?

ගාසා තීරය ඉතාමත් කුඩා භූමියක් වන අතර එම හේතුවෙන් එය ලෝකයේ ජනාකීර්ණම ප්‍රදේශයක් ලෙසද සලකනු ලබයි. ඊශ්‍රායලයට සහ ඊජිත්තුවට මැදිව තිබෙන මෙම ප්‍රදේශය එක් පසකින් සාගරයට කොටුවී තිබේ. මෙම ප්‍රදේශයට විශාල ආර්ථික ශක්තියක් නොමැති බවට වාර්තා වන අතර එම ප්‍රදේශයේ රඳා පැවැත්ම බොහෝ විට විදේශයන්ගෙන් ලැබෙන මානුෂීය සහයෝගය මත රඳා පවතී.

හමාස් බොහෝ විට සිය ප්‍රහාරාත්මක මෙහෙයුම් ජනාකීර්ණ ප්‍රදේශවල ක්‍රියාත්මක කරමින් සිටින අතර ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන්නේ ද එම ප්‍රදේශයන්වල සිටය. එමෙන්ම  මහල් නිවාසවල අණ දෙන ස්ථාන ක්‍රියාත්මක කරගන යනු ලබයි. මේ නිසා සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස හමාස් සංවිධානයට භාවිත කිරීමට හැකියාව ලැබී තිබේ. 

හමාස් සංවිධානයට සහයෝගය දෙන්නේ කවුද?

හමාස් සංවිධානයට සිටින ප්‍රධානතම මූල්‍ය සහායකයා සහ විදේශීය සගයා වන්නේ කටාර් රාජ්‍යයයි. කටාරි එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි 2012 දී හමාස් රජයට ගිය පළමු රාජ්‍ය නායකයා ද වෙයි. ගාසා තීරය වෙත කටාර් වෙතින් ඩොලර් බිලියන 1.8ක ආධාර පවා ලබා දී ඇති බව සඳහන් වෙයි. එමෙන්ම ඊශ්‍රායලයද ඇමෙරිකාවේ මැදිහත් වීම මත ඒබ්‍රහම් ගිවිසුම හරහා කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් සඳහන්.

කටාර් රාජ්‍ය අමතරව තුර්කිය ද හමාස් සංවිධානයට සහාය ලබාදෙන රටක් වන අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කිරීමට මොහොතකට පෙර පැවති සාකච්ඡාවලදී තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් විසින් හමාස් සංවිධානයට දේශපාලනික සහාය ලබාදෙන බවට පවසා තිබුණි.

මෙන්ම ජර්මනිය මූලික කරගත් සංවිධානයන්වලින් ද හමාස් සංවිධානයට මූල්‍ය සහාය ලබාදෙන අතර හමාස් හී බොහෝ මූල්‍ය කොටස් ජර්මනිය තුළ පවතින බවටද මතයක් පවතී.

හමාස් සංවිධානයට රොකට් ප්‍රහාරක බලයක් ලැබුණේ කොහොමද?

හමාස් සංවිධානය මේ වන විටත් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 2000කට වඩා එල්ල කර තිබේ. හමාස් සංවිධානයට බොහෝ අවස්ථාවල මෙම රොකට් සැපයීම ඉරානය විසින් සිදුකරන බව සඳහන් වෙයි. එමෙන්ම ජර්මානු මිසයිල තාක්ෂණය පිළිබඳව විශේෂඥයෙකු වන ෆේබියන් හින්ස් පවසා සිටියේ හමාස් සංවිධානය සිය ප්‍රහාරක ගබඩා පහසුකම් පුළුල් කරගෙන ඇති බවයි.

හමාස් සටන්කාමීන් සතුව රොකට් 5000ක් හෝ 6000ක් අතර ප්‍රමාණයක් ඇති බව සඳහන් වෙන අතර හමාස් සටන්කාමීන්ට සහාය ලබාදෙන ජීහාඩ් සටන්කාමීන්ට තවත් රොකට් 8000ක ප්‍රමාණයක් ඇති බවත් වාර්තා වෙයි.

ඉරානය විසින් සපයන රොකට් බොහෝ විට සුඩානය හරහා හෝ ඊජිත්තුව හරහා ගාසා තීරයට ගෙන එන බවට වාර්තා වන අතර 2019 වසරේ දී සුඩාන ආඥාදායක පාලකයෙකු වූ ඕමාර් අල් බෂීර් නෙරපා හැරීමෙන් පසුව මෙම කටයුත්ත අපහසු වී ඇති බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් ජර්මානු මිසයිල විශේෂඥයා සැක පළ කරමින් පවසා සිටින්නේ බොහෝ විට හමාස් සටන්කාමීන් විසින් ගාසා වෙරළට ආසන්න ප්‍රදේශයක රහසිගතව බාහිර සහායක් ඇතිව මෙම රොකට් නිෂ්පාදනයේ නිරත වන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 May 2021 17:08