May 01, 2024

“මම දැකපු දේ වෙන කිසිම දරුවෙක් දකින්න හොඳ නැහැ” - පාස්කු ප්‍රහාරයෙන් පියා අහිමි වූ දියණියක් කියන සංවේදීව කතාව

පාස්කු ප්‍රහාරය සිදුව අදට වසර 02ක් ගත වන මොහොතක එම සිදුවීමේ සංවේදී බොහෝ කතා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

ඒ අතර රූපවාහිනී නාලිකාවකටද එම ප්‍රහාරයෙන් සිය පියා අහිමි වූ දියණියක් වන මල්කා ශලින්දි ද පැමිණ සිටියේ එම අමිහිරි අත්දැකීම බෙදා ගැනීම සඳහාය.

ඇයගේ පියා මිය ගොස් තිබුණේ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙනි.

“අපි පුජාවට යන්නේ සෙනසුරාදා රෑ. තාත්තා උදෙන්ම වැඩට යනවා. එදා හොටල් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් බිසි කියන්න පුළුවන් දවසක්.. පාස්කුවලට අපි දානයක් දෙනවා හැම අවුරුද්දේම අබාධිත වැඩිහිටි නිවාසයකට. මමයි අම්මයි නංගී ඉන්නේ එතන.. කොහොම හරි එතන පුජාවක් තිබුණා.. ඒ අතර තමයි මම දැනගන්නේ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයට ගහලා තියෙනවා කියලා..” යැයි එම වැඩසටහනේ දී තම අත්දැකීම බෙදා ගනිමින් පවසා සිටියාය.

එම දානමය කටයුත්තේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ තමන්ගේ මව බව මල්කා විසින් සඳහන් කළාය. ඇය සිය මවට බෝම්බ ප්‍රහාරයන් එල්ල වූ බව එම මොහොතේ කියා තිබුණි. එම අවස්ථාවේ තමන්ගේ මව එම ස්ථානයේ සිටි පියතුමන් සමඟ එක්ව යාඥා කළ බවත් ඇය සඳහන් කළාය. 

ඇය එම අමිහිරි අත්දැකීම ගැන කියා සිටියේ මෙලසිනි, “මෙහෙම බෝම්බයක් පුපුරලා තියෙනවා..අපි ඒ ජීවිත වෙනුවෙන් යාඥා කරමු, ඒ මැරිලා තියෙන අයට අපි මොක් සුව පතමු, ඒ පවුල්වලට අපි දුක දරාගන්න පුළුවන් විදිහට යාඥා කරමු කියලා අම්මා කියද්දී අම්මවත්, මමවත්, නංගීවත් දැනගෙන හිටියේ නැහැ අපේ තාත්තාත් මැරිලා කියලා..” යනුවෙනි.

මෙම සිදුවීමෙන් පසුව මල්කා පවසා සිටියේ තම පියාට තුවාල සිදුවී ඇති බවටත්, අත තුවාල වී ඇති බවටත් දැනගන්නට ලැබුණු බවයි. ඉන්පසුව තමන් මවත් සහෝදරියත් සමඟ රෝහලට ගිය බවද ඇය සඳහන් කළාය.

“මම තමයි තමයි තාත්තාව සොයාගන්නේ..ට්‍රොලි ගොඩාක් තියෙනවා සුදු රෙදිවලින් වහලා..අපේ තාත්තා එක වාට්ටුවකවත් නැහැ...අත තුවාල වෙච්ච මනුස්සයෙක්ව අපි මේ හොයාන්නේ… වාට්ටුවල හෙව්වා, අයි.සී.යූ එකේ හෙව්වා..හැමතැනම හෙව්වා..අපි ඊට පස්සේ වෙන හොස්පිටල් එකට යන්න ප්ලෑන් කරනවා.. ඒ අතරවාරයේ මගේ හිත කියනවා අපි මේ හොස්පිටල් එකේ හැමතැනම බැලුවා, සුදු රෙදිවලින් මිනිස්සු ටිකක් වහලා තියෙනවා.. ඊට පස්සේ මම මටම බැන ගන්නවා මේ අත තුවාල වුණු තාත්තා කෙනෙක්ව ඇයි මම සුදු රෙදි යට සොයන්නේ.. මං මට බැනගන්නවා.. ඒත් මම කොහොම හරි ගිහිල්ලා සුදු රෙදි එක එක ඇරලා බලනවා..” යැයි ඇයගේ සංවේදී අමිහිරි අත්දැකීම ගැන පවසමින් ඇය සඳහන් කළාය.

එම දසුන මතක් වන අවස්ථාවක තමන්ට නිදාගැනීමට පවා නොහැකි බව ඇය එම රූපවාහිනී වැඩසටහන තුළදී සඳහන් කළාය. තමන් ට්‍රොලි ඇරගෙන යන අවස්ථාවේ කැබලි වී ගිය මිනිස්සුන් සිටි බව ඇය පැවසීය. 

සියලුම ට්‍රොලි බලමින් යන අවස්ථාවේ එම ට්‍රොලි ප්‍රමාණය අඩු වන බව දුටු විට තම පියා එම ස්ථානයේ නොමැති බව ඇය සිතූ බවද ඇය කියා සිටියාය.

 “අන්තිමට බලද්දී තාත්තා ලස්සනට ඉන්නවා.. එයාගේ ටයිකෝට් එක දාගෙන..හැබැයි සුදු පාට ෂර්ට් එක සම්පුර්ණයෙන්ම රතු වෙලා..මට අදහා ගන්න බැහැ මේ තාත්තාමද කියලා.. මම හොස්පිටල් එකේ වාට්ටුවක් වාට්ටුවක් ගානේ හෙව්වේ අත කැඩිච්ච තාත්තා කෙනෙක්.. මොකද අපිට පණිවිඩය ආවේ අත කැඩුණා එහෙම ප්‍රශ්නයක් නැහැ හොස්පිටල් එකට එන්න බලන්න කියලා.. මට මාව අදහා ගන්න බැරුව ගියා.. මම කෑගහුවා මම දන්නේ නැහැ මට මොකද වුණේ කියලා.. මම ට්‍රොලිය උඩට නැගලා බිමට වැටිලා තියෙන තාත්තාගේ අත ගත්තා.. ගද්දී තියෙනවා තාත්තාගේ මුද්ද..එතනින් මම කෑගැහුවා.. මම දන්නේ නෑ මම ක්ලාන්තේ දැම්මා..”

තම පියා මිනීපෙට්ටියේ ඉන්නවා තමන්ට බැලිය හැකි බවත්, නමුත් එම දසුන තමන්ගේ සිතින් අයින් නොවන බවත් ඇය ඉතාමත් සංවේදීව සඳහන් කළාය.  “ඒක එක ළමයෙක්වත්, එක දරුවෙක්වත්, දැකිය යුතු දසුනක් නෙමෙයි..තමාගේ ජීවිතේම ආදරේ කරන පුද්ගලයා..තමන්ගේ පණටත් වඩා ආදරය කරන පුද්ගලයාව එහෙම දකින්න අපේ තාත්තා මොනවද කළේ?” යැයි ඇය විමසා සිටියාය.

Rate this item
(0 votes)

Related items