March 28, 2024

"පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ජනපතිවරණය දිනීමේ අරමුණයි" - කාදිනල් හිමි හෙළිකරයි (VIDEO)

2019 වසරේ අප්‍රේල් 21 වැනි දිනට යෙදී තිබූ පාස්කු ඉරිදා දිනයේ දී කිතුණු දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කොට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සිදු වී අද (14) දිනට දින දහසක් සම්පූර්ණ වූවා.

ඒ වෙනුවෙන් සංවිධානය වූ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේ දී පැවැත්වුණා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දේව මෙහෙය සඳහා විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.

ඒ අතර බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඉන් තුවාළ ලැබූ පිරිස් ද වූවා.

(වීඩියෝව මෙම සටහන අවසානයේ)

සංවේදී වූ කාදිනල් හිමිපාණන්

එම අවස්ථාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් ද දේශණයක් සිදු කළ අතර එම දෙසුම අතරතුර උන්වහන්සේ සංවේදීවන ආකාරය ද දක්නට ලැබුණා.

මේ අතර අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සිය දේශණය මගින් ආන්දෝලනාත්මක අදහස් රැසක් ද පළ කොට සිටියා.

කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ මෙරට ධනය වන්නේ ජනතාව බව යි.

එය මෙරට පාලකයින් තේරුම් නොගන්නා බවත්, බලයට පැමිණීමෙන් අනතුරුව පාලකයින් ජනතාව අමතක කර දමන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

ඇත්ත හෙළිවීම ඇරඹෙයි

එමෙන්ම බයිබලයේ සඳහන් කතා පුවතක් සිහිපත් කළ උන්වහන්සේ ප්‍රකාශ කළේ එදා ජනතාව වහල්බවට ඇද දැමූ පාරාවෝ රජුගේ බලයට ජය ගැනීමට දෙවියන් වහන්සේ ඉඩ නොදුන් ලෙසින්ම වර්තමාන පාලකයින්ගේ බොරු එකින් එක හෙළි වෙමින් පවතින බව යි.

ජනතාව අමතක කරමින් ඔවුන්ව පෙළා මර්ධනය කරන අතරතුර පාස්කු ඉරු දින ඝාතන යටගැසීමට බලය හොබවන්නන් උත්සහ දරන නමුත් මේවන විට ජනතාව දිනෙන් දින බලවත්වන බව තමන්වහන්සේට පෙනෙන බවත් පාලකයින් දිනෙන් දින අවුල්සහගත තත්ත්වයකට ඇදවැටෙමින් පවතින බවත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.

මෙම සිදුවීම ඉතිහාසයෙන් මකා දැමීමට උත්සහ දරන්නන්ගේ ප්‍රයත්නයන් සාර්ථක නොවනු ඇති බව යි උන්වහන්සේ අවධාරණය කළේ.

එමෙන්ම පාස්කු ඉරුදින බෝම්බය පුපුරා අවසන් වූ නමුත් "ඇත්ත එළියට ඒමේ බෝම්බය" මේවන විට පුපුරමින් පවතින බව ද උන්වහන්සේ සඳහන් කළා.

මෙම ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් පමණක් එක් වී සිදු කළ එකක් බවට ලඝු කිරීමට බලවත් පිරිස් උත්සහ ගත්ත ද සත්‍යය ඉන් ඔබ්බට ගිය එකක් බව යි කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ.

ප්‍රහාරයේ වාසිය ගත් අය

පාස්කු ඉරු දින ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව පැහැදිළි බව පවසන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රහාරය භාවිත කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් නායකයින්ට අවශ්‍ය වූ බව මේවන විට අනාවරණය වෙමින් පවතින බව යි.

මේ අතර මෙම ප්‍රහාරය සහ පසුගිය ජනාධිපතිවරණය අතර ඇති සබඳතාවක් පිළිබඳව ද උන්වහන්සේ ඉඟි පළ කළා.

ප්‍රහාරය පිළිබඳ සොයන්නට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මෙම සිදුවීම පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවේ ඇති කරුණු කිහිපයක් ද සිය දේශණය අතරතුර උපුටා දැක්වීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කළේ මේ අයුරින්.

"මෙන්න! කවුද මේවට වගකියන්න ඕනෙ කියන එක දැන් උන්වහන්සේ එළිදරව් කරන්නට පටන් අරගෙන. ඒ ගැන සොයන්න පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ ගැන කියලා තියෙන දේ මෙන්න! ඒ වචන ඇහැව්වොත් මම කියන දේ පැහැදිළි වෙයි. අපි කියවලා බලමු. මෙහෙමයි ඒක ලියලා තියෙන්නේ”

ජනාධිපතිවරණය සහ බෝම්බය

'කිහිප දෙනෙකු පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශවයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බරපතළ කරුණු සොයාගැනීම් සිදු කර තිබේ. යම් කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයන් විසින් වසර අගභාගයේ එළැඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් සහ කැළඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේ ද යන්න සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු යැයි ද'

මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනත් ඒක වසන් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කිසිම දෙයක් නොකළ, ඒ වගේම කරන්න උත්සහ කරපු අය වළක්වපු ඒ අය තුළ තිබුණේ යටිකූට්ටු අරමුණක් කියන එක මේකෙන් පැහැදිළි වෙනවා. වැඩිදුර පරීක්ෂණ සිදුකරන්න කියලා නිර්දේශ කරනවා ඒගොල්ලෝ"

කෙසේ වෙතත් ඒ අයුරින් කිසිදු පරීක්ෂණයක් සිදු නොවූ බව පෙන්වාදෙන කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රශ්ණ කොට සිටියේ ඒ පිළිබඳ ප්‍රශ්ණ කිරීමක් හෝ සිදු කොට ඇත්තේ කාගෙන් ද යනුවෙන්.

ජනතාව බය කරලා ඡන්දය අරන්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දක්වා ඇති කරුණු ද සමගින් උන්වහන්සේ වැඩිදුරටත් සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළා.

"ජනතාව තුළ බියක් ඇති කරලා, රටේ සුරක්ෂිත භාවයක් නැහැයි කියලා පෙන්නුම් කරලා, ඡන්දය දිනාගන්නට සමහර අය ගහපු උප්පරවැට්ටියක් බව මේ වාර්තාවේ පැහැදිළිව පේනවා. මේ වාර්තාව එළියට ආවේ ඡන්දෙට ඉස්සෙල්ලා. ඔක්තෝබර් මාසේ 23 වැනිදා 2019. මේ ඒ වාර්තාවේ වචන. මම හදපුවා නෙවෙයි"

මේ අතර අදාළ වාර්තාව නිල නීතිමය ලියවිල්ලක් බවත්, එවන් පසුබිමක එය කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැති වාර්තාවක් ලෙස අවතක්සේරු කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කටයුතු කර ඇති බවත් පෙන්වා දෙන කාදිනල් හිමිපානන් වැඩිදුරටත් ප්‍රශ්ණ කොට සිටියේ "‍එහෙම කරන්න එතුමාට ඇති බලය කුමක් ද ?" යනුවෙන්.

මෙම ප්‍රහාරය සිදුවන බවට ඉන්දීය බුද්ධි අංශ පවා දැනුම් දී තිබූ වාතාවරණයක එය වැළැක්වීමට ක්‍රියා නොකළේ කුමන්ත්‍රණයක් නිසා බවත්, එය හිටපු නීතිපතිවරයාගේ ද අදහස වූ බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

"මේ කුමන්ත්‍රණය ඒ වර්ෂය අවසානයේ තියන්නට යන ජනාධිපතිවරණයේ දී යම් කණ්ඩායමකට වාසි ලබා ගැනීමට ඉලක්ක කර කෙරුණු දෙයක් බව පෙනෙන්නට තියෙනවා. ඒ ගැන වැඩිදුර විමර්ශන වෙන්නට ඕනේ ය කියලා ඒ වාර්තාව කියා තියෙනවා. ඇයි ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට බැරි? කාගේ උවමනාවට ද එහෙම කරන්නේ?"

එමෙන්ම ඇතැම් නිලධාරීන් පිළිබඳ සඳහන් කොට ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට අදාළ පාර්ලමේන්තු තේරීම් කාරක සභා වාර්තාව නිර්දේශ කළත්, එම ඇතැම් නිලධාරීන්ට උසස්වීම් පවා ලැබී ඇති බව කාදිනල් හිමිපාණන් අනාවරණය කළා.

තවම ඉවර නෑ

මෙම සිද්ධිය සම්බන්ධව කිසිවෙකුට අත සෝදා පසෙකට විය නොහැති බව උන්වහන්සේ අවධාරණය කළ අතර එක් අතකින් බැලූ විට මෙම බෝම්බය තවමත් පුපුරා අවසන් වී නොමැති බව ද සඳහන් කර සිටියා.

"ඒ අතින් බලපුවාම මේ බෝම්බෙ තාම පිපිරිලා ඉවර නෑ. තවම පිපිරෙනවා. රට පුරාම බෝම්බ පිපිරෙනවා. හරියට එදා ඒ අහිංසකයන් මරන්න පුපුරපු බෝම්බය, අද ඒ බෝම්බය තියපු අයව පුපුරවමින් තියෙනවා වගෙයි. තැනින් තැන පුපුර පුපුර ඇත්ත එළියට එමින් තියෙනවා. කාටවත් හිතන්න බැරි වලක්වන්න බැරි විදිහට දේවල් එළියට එනවා. ඉදිරියේ දී මීටත් වඩා කරුණු එළියට ඒවි"

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ නිලධාරීන්, බලධාරීන් මොන නාටක නැටුව ද ඇත්ත යට කිරීමට නොහැකි බව යි.

මෙම ප්‍රහාරයට ඉඩ ලබා දුන් නායකයින් දැනගත යුතු දෙයක් තිබෙන බවත්, ඔවුන් කෙදිනක හෝ බලයෙන් ගිය දිනෙක පමණක් නොව මෙලොව හැර ගිය පසුත් මෙම කතාවේ සෑම දෙයක්ම එළිදරව්වනු ඇති බවත්, එදිනට ඔවුන්ට ඉතිහාසයේ විනිශ්චය ලැබෙනු ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

පසුගිය දින සියළු ශාන්තුවරයින්ගේ පල්ලියෙන් වාර්තා වූ බෝම්බ සිද්ධිය පිළිබඳව ද සිහිපත් කළ කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිවැරදිකරුවන් අල්ලාගෙන ගොස් වැරදිකරුවන් නිදහසේ තබන තත්ත්වයක් බලධාරීන් නිර්මාණය කොට ඇති බව යි.

එම බෝම්බය පිළිබඳ සිදු කළ අක්‍රමවත් විමර්ශනය, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට සමාන බව යි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

මෙරට දේශපාලනඥයින්ට ආමන්ත්‍රණය කරමින් කාදිනල් හිමිපාණන් තව තවත් තදබල කරුණු ඉදිරිපත් කළ අතර උන්වහන්සේගේ සම්පූර්ණ දේශණයෙහි වීඩියෝව පහතින්..

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 January 2022 17:47