May 03, 2024
Main

Main (651)

එළැඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් සිදු කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා දැරූ නියෝජ්‍ය නායක ධූරය රවී කරුණානායක මහතාටත් ඔහු දැරූ උප නායක ධූරය අකිල විරාජ් කාරියවසම් මහතාටත්, කාරියවසම් මහතා දැරූ මහා ලේකම් ධූරය සාගල රත්නායක මහතාටත් ලබා දීමට නියමිත බව වාර්තා වෙයි. නවීන් දිසානායක මහතා ජාතික සංවිධායක ධූරයේම තැබීමට වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙයි.

මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් 09 දෙනෙකු පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් සාමාජිකයන් 21 දෙනෙකු වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීමට නියමිතය.

මෙම වෙනස් කිරීම් සමඟ ඉදිරි මහා මැතිවරණය මුහුණ දීම එජාප නායකයාගේ ඉල්ලකය වී තිබේ.

වෙනත් පක්ෂයකින් නාම යෝජනා දීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ 100කට ආසන්න පිරිසකට විනය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අපේ ජාතික පෙරමුණු පක්ෂයේ සභාපති හා නායකයා ලෙස මැතිවරණ කොමිසමට ලිචිතව දැනුම් දී තිබෙන බවත් පසුව එය ඉල්ලා අස්කරගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කරන ලදී.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිවරයා හා නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට භාර දී ඇති ලේඛනයේ පිටපතක් සමගි ජන බලවේගයේ සතුව පවතින බව පෙන්වා දෙන අත්තනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ එම ධූර වලට පත්වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවද පෙන්වා දෙයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියකින් තොරව වෙනම පක්ෂයක සභාපති හා නායක ධුරයට පත් වීම එය මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචිව තිබීම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම හේතු පදනම් කොට රනිල් වික්‍රමසිංහ මහතාව එජාපයෙන් නෙරපීමට හැකි බව පෙන්වා දෙන අත්තනායක මහතා ඔහුව පක්ෂයෙන් නෙරපූ විට ස්වාභාවිකවම පක්ෂ නායකත්වය ද ඔහුට අහිමි වන බව අවධාරණය කරයි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සිංහල අපේක්ෂකයන්ට මුදල් බෙදීම සැක සහිත කටයුත්තක් බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දී තිබෙන හකීම් මහතා එම බලවේගයෙන් තරග කරන සිංහල අපේක්ෂකයන්ට මෙසේ මුදල් බෙදා දෙන්නේ කුමන අරමුණකින්ද යන්න ප්‍රශ්නයක් වී තිබේ.

සිංහල අපේක්ෂකයන් හකීම් මහතාට මනාපයක් ලබා දෙන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටීමට නොහැකි අතර එසේම මනාපයක් ලබා දෙන ලෙස ඉල්ලා නොසිටින පදනමක් තුළ මෙසේ මුදල් ලබා දුන්නේ සිංහල අපේක්ෂකයන් එකිනෙකා අතර ප්‍රශ්න ඇති කරවීමට බවද චෝදනා එල්ල වේ.

විනයක්, හැදියාවක් හෝ සදාචාරයක් නොමැතිව මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින පෞද්ගලික බස් දැන් අලුත් වැඩකට බැස තිබේ.

ඒ පවතින වංසගත තත්ත්වය හමුවේ ආසන ගණනට පමණක් මගීන් ගෙන යායුතු බවට කර තිබෙන නිර්දේශය මත දැනට තිබෙන අසුන් පේළිවලට අමතරව එනම් ජම්පින් සීට් නමින් හඳුන්වන තාවකාලික අසුන් පෙළක් පනවා තිබීමය.

ඒ අනුව ආසන 42 ක බස් රථයක ආසන සංඛ්‍යාව 52 දක්වාත්, ආසන 44ක බස් රථයක ආසන සංඛ්‍යාව ආසන 54 දක්වාත් වැඩි වී තිබේ.

එහෙත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බලපත්‍ර ලබා දී තිබෙන්නේ ආසන 42 කට හා ආසන 44ට පමණයි. අලුතින් පනවා ඇති ආසන පෙළ බස් රථයක සවි කළ හැක්කේ විනෝද චාරිකා යෑමේ දී පමණයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ ඉදිරියේදීද සැලකිය යුතු කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවේ හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ වැලිසර කදවුර තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට තවමත් සෞඛ්‍ය අංශ අසමත් වී ඇති බවයි.

එම කදවුර වෙනම රටක් ලෙස සැලකුවොත් එහි තත්ත්වය ඇමරිකාවේ හෝ එංගලන්තයේ දක්නට ලැබෙන තත්ත්වයට සමාන යැයිද ඔහු පැවසීය.

කඳවුරේ පවතින ස්වභාවය මත එහි වෛරසය පාලනය කිරීම අසීරු බවද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට මෙරටින් ආසාධිතයන් හමුවෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුරට අමතරව විදේශ රටවලින් පැමිණෙන පිරිස් පමණක් යැයිද ඔහු පැවසීය.

රට තුළ වෛරසය පාලනය කිරීමට හැකි වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය

දැනට වාර්තා වන අන්දමට කොරෝනා වසංගතයෙන් වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගොස් සිටින්නේ බ්‍රිතාන්‍යයේය.

ඒ ප්‍රමාණය 27කි. 

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 5ක් බ්‍රිතාන්‍යයේ ජිවත් වෙයි. 

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ මෙතෙක් මිය ගොස් තිබෙන්නේ 9කි. එය බ්‍රිතාන්‍යයේ මිය ගොස් තිබෙන ලාංකිකයන් සංඛ්‍යාවෙන් තුනෙන් එකකි.

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වයිරසය හේතුවෙන් දැනට අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයෙන් හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මෙසේ ලිහිල් කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව, අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මේ මස අග පමණ දක්වා තවදුරටත් දීර්ඝ කෙරෙන ඇති බව වාර්තා වේ.

එසේ වුවද අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ද ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිසරය පැතිරයාම පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් දෙනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙසේ දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරිනීතිය ලිහිල් කෙරෙනු ඇති බව වාර්තා වේ.

මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ලිහිල් කළ ද කොරෝනා වයිරසය පැතිරයාම පාලනය සඳහා වන දැඩි කොන්දේසි පැනවෙනු ඇති බවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාත සඳහා ඇඳිරි නීතිය මාර්තු මස 20 වැනිදා පැනවූ අතර, එක්වරක් පමණක් ලිහිල් කිරීමෙන් පසුව නැවත පනවනු ලැබීය. එම දිස්ත්‍රික්ක තුනත් පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනත් ඉන් පසුව අධි අවදානම් ප්‍රදේශ ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමිනි.

තවත් දිස්ත්‍රික්ක හතක් අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබූ අතර, කොරෝනා එක් රෝගියකු හෝ වාර්තා නොවුණ දිස්ත්‍රික්ක 12ක් මේ වන විට හඳුනාගෙන ඇත.

එම දිස්ත්‍රික්කවල තත්ත්වය අවදානම් නොවන බවට සෞඛ්‍ය අංශ විසින් දෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඒවායේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා හැකි වන පරිදි මෙම ලිහිල් කිරීම සිදු කෙරනු ඇත.

කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයේ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ලබන සදුදා උදේ 6.00 වන තෙක් ක්‍රියාත්මක බවත්, එම දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය යළි ක්‍රියාත්මක වීම පිළිබඳ පසුව දැනුම් දෙන බවත් රජය පසුගිය බදාදා (15) නිවේදනය කළේය.

විශේෂඥ ‌වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රජයේ රෝහල්වල රෝගී සත්කාරය සිදුකළද ඔවුන්ට පෞද්ගලික රෝහල් තුළදී එම ආරක්ෂිත උපාංග නොලැබීම හේතුවෙන් ඔවුන් මෙන්ම ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ද දැඩි අවදානමකට පත්වෙන බැවින් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් සේවාවන්ගෙන් ඉවත් වීමට කටයුතු කර ඇතැයි හෙතෙම පැවසීය.

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතුයි.

රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්  අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නිතිය ලිහිල් කිරීම කෙරෙහි සාකච්ඡාවට ලක් කෙරිණ.

ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

කෘෂිධීවර සහ ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ දී ඊට අවශ්‍ය සහාය අමාත්‍යාංශ වෙතින්  ලබාදීමට ක්‍රියාකරන ලෙස ද ජනාධිපතිතුමා ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.

අළුත් ආර්ථික රටාවක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සැකසීමේ වගකීම අමාත්‍යාංශ වෙත පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන ඇතුළු නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට පියවර ගැනේ. සෙසු රටවල් මුහුණදි ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු බව ද අවධාරණය කෙරිණි.

අපනයන කෘෂි බෝග කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වගාකළ හැකි බිම් ඵලදායී ලෙස ඊට දායක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රය ගමට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

අළුත් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එමෙන්ම  අත්දැකීම් සහිත ව්‍යාපාරිකයන්ට ද අවස්ථාව සලසා දිය යුතුය. සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයකින් ආර්ථිකය ගොඩනැඟිම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංගඅග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්කැබිනට් ලේකම් එස්. අමරසේකර යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

කොරෝනා වෛරසය පිළිබඳව මෙරට තුළ පරික්ෂණ කරන විශේෂඥයින් පවසන අන්දමට මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානම උපරිම මට්ටම පසු කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

අද (15) රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ වෛසරය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන නොගියහොත් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකිබවයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 233ක් හඳුනාගෙන ඇත.

ඊයේ (14) දිනයේ දී පමණක් නව ආසාදිත පුද්ගලයින් 15 දෙනෙකු සොයාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයන් හී රඳවා සිටි අය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කළ සිටියා.