April 20, 2024
Main

Main (651)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (25) පැවැති කැබිනට් රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැති බව වාර්තා වේ.

එම කාලය තුළ සාකච්ඡාවට ලක්වූයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන පමණක් බව රජයේ ආරංචි මාර්ග පවසයි.
 
වෙනදා කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකා 50ක් 60ක් පමණ ඉදිරිපත් වන නමුත් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූයේ පත්‍රිකා තුනක් පමණක් බවද ඒවාද කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට අදාළ පත්‍රිකා බවද වාර්තා වේ.
 
කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා කොරෝනා වයිරසයෙන් රට මුදා ගැනීම සදහා තමාට දැඩි තීන්දු ගැනීමට සිදුව තිබෙන බව ප්‍රකාශ කර ඇත.

කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ද ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් ත්ත්වය හමුවේ පීඩනයට පත්ව සිටින ජනතාව සදහා සහන පැකේජයක් හදුන්වාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ගොවීන්, කම්කරුවන්, ධීවරයන්, රජයේ සේවකයන්, පෞද්ගලික අංශය, බැංකු ආදි විවිධ ක්ෂේත‍්‍ර සදහා මෙම සහන පැකේජය හදුන්වා දෙනු ඇත. මෙම සහන පැකේජයෙන් කොටසක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය විසින් මීට දින තුනට ඉහත දී ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ව්‍යාපාර අඩාල වු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු  තාක්ෂණ හා සැපයුම්  ක්ෂේත්‍ර වල නියුතුවුවන්ට 4% පොලී අනුපාතයක්  යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදිමට මුල්‍ය ආයතනවලට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මෙම ණය මුදල් සඳහා මාස 6 ක පොලි සහන කාලයක් ද හිමි වේ.

කොරෝනා වෛරසයෙන් බේරෙන්න මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මුලින් ප්‍රකාශ කළ ද මේවන විට ප්‍රකාශ කරන්නේ මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි. මේ හේතුවෙන් ජනතාව කළ යුත්තේ කුමක්ද යන්න ප්‍රශ්නකාරී තත්වයකට මුහුණ දී තිබේ. කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳිය යුතුද? නැද්ද? මේ ගැන සොයා බැලීමට අප තීරණය කළේය.

මුඛ ආවරණ පැළදිය යුතුද? නැද්ද? යන්න පිළිබඳ නිවැරදි වැටහීමක් නොමැති තවත් සැලකිය යුතු පිරිසක් සිටින බව ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අදහස් සහ මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී පෙනී යයි. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා වඩාත් සුදුසු පියවර ලෙස මුඛ ආවරණ පැළඳීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පළමුව පෙන්වා දෙනු ලැබූ නමුත් මේ වනවිට එය දෑත් පිරිසිදුව තබා ගැනීමත් සමාජ දුරස්ථභාවය ඇති කර ගැනීමත් දක්වා වෙනස් වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මග තොටදී මුඛ ආවරණ පැළඳීමට තරම් අවශ්‍යතාවක් නොමැති බව ද දැන් සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. මේවන විට වෙළඳ පොළ තුළ මුඛ ආවරණවල හිඟයක් දක්නට ලැබෙනු අතර ඒවායේ මිළ පාලනයට මැදිහත් වන්නට ද රජයට සිදුවිය.

කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති අයෙක් පොදු ස්ථානවලට හෝ ජනාකීර්ණ ස්ථානවලට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා පසුගිය ජනවාරි 27 වැනිදා රජයේ නිල පුවත් අඩවියට ප්‍රකාශ කර තිබිණි. මීට අමතරව, ලෙඩරෝගවලින් ආරක්ෂාවීම පිළිබඳ සමාජ ජාල ඔස්සේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන පාර්ශව ද මුඛ ආවරණ පැළදීමේ වැදගත්කම හා ඒවා නිවැරදිව පළදින ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමට පළමුව පියවර ගෙන තිබුණි. මේ වන විට ඔවුන් ද මුඛ ආවරණ භාවිතයට වඩා දෑත් පිරිසිදුව තබා ගැනීම හා වෙනත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වඩාත් යෝග්‍ය බව ප්‍රකාශ කරයි.

මුඛ ආවරණ හිඟයක්

මුඛ ආවරණයක් පැළඳීම තමන්ට රෝග බෝවීම වළක්වා ගැනීමට මෙන්ම අන් අයට තමන්ගෙන් රෝග පැතිරයාම වළක්වා ගැනීමට ඉවහල්වන ආරක්ෂිත උපක්‍රමයකි. එබැවින් කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමගම මුඛ ආවරණ සඳහා ඉල්ලුම එක්වරම ඉහළ ගියේය. ඒ තුළින් මුඛ ආවරණවල හිඟයක් රටපුරා ඇති වූ අතර ඇතැම් වෙළෙන්දෝ අධික ලාභයක් ලැබීම සඳහා ඒවා වැඩි මිලට අලෙවි කරන්නට විය.

වැඩි මිළට අලෙවිය වැළක්වීම සඳහා රජය මුඛ ආවරණ සදහා පසුගිය ජනවාරි 29 වෙනිදා උපරිම සිල්ලර මිලක් නියම කළේය. මේ අතර ප්‍රමාණවත් මුඛ ආවරණ වෙළඳපොළට කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දේශීය නිෂ්පාදකයන් තිදෙනෙකුට දැනුම් දී තිබිණි. ඒ අවස්ථාවේදී නිෂ්පාදකයින් ප්‍රකාශ කර ඇත්තේ අමුද්‍රව්‍ය වැඩි වශයෙන් ගෙන්වන්නේ ද චීනයෙන් බැවින් එකවර නිෂ්පාදනය වැඩි කිරීමේ ගැටලුවක් ඇති බවය.

මුඛ ආවරණයක වැදගත්කම

Image result for how to face mask

මුඛයෙන් හා නාසයෙන් ශරීරයට ඇතුළු වන වෛරසයන්ගෙන් ආරක්ෂා වීමටත් ආසාදිත තත්ත්වයකට පත්වූ පසු තමාගෙන් බාහිර පරිසරයට වෛරසය මුදා හැරීම පාලනයටත් මුඛ ආවරණ භාවිතා කරනු ලබයි. හුස්ම ගැනීමේදී වාතයේ ඇති වෛරස් අංශු සියයට 95ක් හෝ සියයට 99ක් අතර ප්‍රමාණයකින් නාසයෙන් ශ්වසන පද්ධතියට ඇතුළු වීම වැළැක්වීමට මෙම මුඛ ආවරණවලට හැකියාව තිබේ.  බැක්ටීරියා, වෛරසය හා විෂබීජ මගින් ඇතිවන බෝවන රෝග පාලනයට පමණක් නොව වායූගෝලීය දූෂණයන්ගෙන් ආරක්ෂා වීමටද මුඛ ආවරණ භාවිතා කරනු ලබයි. බොහෝ විට අප මුඛ ආවරණයක් පැලදීම පිළිබදව අවධානය යොමු කරන්නේ අවදානම් සහගත තත්වයකදී පමණයි. නමුත් වායුගෝලීය දූෂණය ඉහළ මට්ටමක පවතින බොහෝ රටවල මිනිසුන් මුඛ ආවරණ පැලඳීම ඉතා සුලභව දක්නට ලැබෙන කාරණයක්.

මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නෑ

Image may contain: 1 person, text that says 'සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිතයේදී කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට මුබ ආවරණ පැළැඳීම මේ අවස්ථාවේදී අවශ්‍ය නොවේ -වසංගත රෝග විද්‍යා අංශය- අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පණිවුඩයක්'

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටින් හමුවීමත් සමග මුඛ ආවරණ පැලඳීම ගැන විවිධ අදහස් පලවිය.

“සමස්ත ලංකාවේම ජනතාව මුඛ ආවරණ පැලඳිය යුතු තත්ත්වයකට රට පත්වෙලා නැහැ. ඒත් අවධානයෙන් සිටීම හොඳ දෙයක්. විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් ගැබිනි මවුවරුන් මුඛ ආවරණ පැලඳීමට කටයුතු කරනවානම් හොඳයි. ඒත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ජනතාව මුඛ ආවරණ පැලඳිය යුතු නම් ඒක සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කරාවි. ඒත් තාම එහෙම තත්ත්වයක් නැහැ. හැබැයි අපි කියන්නේ නැහැ මුඛ ආවරණ පලඳින්න එපා කියලා. අපි කියන්නේ සමස්ත ජනතාවටම මුඛ ආවරණ පැලඳිය යුතු තත්ත්වයේ අවදානමක් රට තුළ නැහැ කියලා විතරයි.“ යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් තවමත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම මහජනතාවට නිවේදනය කර නොමැති බවත්, මිනිසුන් ඒවා පැළඳිය යුතු සෞඛ්‍යමය කරුණු සහ නිවැරදිව මුඛ ආවරණ පළඳින ආකාරය පිළිබඳව හරි හැටි නොදැන පැළඳීම මඟින් සෞඛ්‍යමය ගැටළු මතුවිය හැකි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

එසේ මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් තවමත් නැතැයි ද ඇය අවධාරණය කර සිටියාය.

දැන් අවශ්‍ය සමාජ දුරස්ථභාවයයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ සමාජීය වශයෙන් කොරෝනා වෛරසයේ පැතිරීමක් නොමැති බැවින් මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බවයි.

ආහාර ලබාදෙන ස්ථානවල හා ඇතැම් රජයේ කාර්යාලවල මුඛ ආවරණ නොමැති පාරිභෝගිකයින් ඇතුළු කර ගැනීමට මැලි කමක් දක්වන බවට හෙළි වී ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

මුඛ ආවරණ පැළඳීම වැඩිවීම තුළ සමහර වේලාවට කළ යුතු ඇතැයි දේ අමතක කරන බවත් ඇතැම් විට මුඡ ආවරණ නොමැති වීමට හැකියාවක් ඇති බවත් එනිස මේ අවස්ථාවේදී මුඛ ආවරණ භාවිතා නොකල යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මුඛ ආවරණ නොමැති ජනතාව බැංකු, වෙළෙඳ ස්ථාන, රජයේ කාර්යාලවලට ඇතුළු කර නොගන්නා තත්වයක් ඇතිව තිබෙන බවත් එය වැරදි තත්වයක් බවත් පෙන්වා දෙන අනිල් ජාසිංහ මහතා කළ යුත්තේ එම ආයතනය සමාජ දුරස්ථභාවය ඇති කර ගත හැකි මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කිරීම බවද කියා සිටියේය.

නමුත් යම් පුද්ගලයෙක් මුඛ ආවරණයක් පළඳින්නේ නම් එසේ නොකළ යුතු යැයි තමා නොකියන බවත් වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

තවමත් ශ්‍රී ලංකාව තුළ සමජියමය මට්ටමින් වෛරසය පැතිරීමක් දක්නට නොමැති බැවින් එසේ මුඛ පළඳනා පැළඳීමේ දැඩි අවශ්‍යතාවයක් නොමැති බවත්, අවශ්‍ය වන්නේ අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය සෞඛ්‍යමය පුරුදු තවදුරටත් අනුගමනය කිරීම බවත් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

යම් හෙයකින් මුඛ ආවරණ පැළඳීමේ දැඩි ව අවශ්‍යතාවය පවතින්නේ නම් එවිට ඒ බව ප්‍රකාශ කර සිටින බව ද හැකි තරම් සමාජ දුරස්ථභාවය ඇති කිරීමට කටයුතු කිරීම මඟින් මෙම රෝගය ජනතාව අතර පැතිරීම වැළක්වීමට හැකි බව ද ඔහු අවධාරණය කළේය.

මුඛ ආවරණ දැමීමට වඩා නොදැමීම සුදුසුයි

මුඛ ආවරණ පළදිනවාට වඩා යහපත් සෞඛ්‍ය පුරුදු සඳහා යොමු විය යුතු බවත් මුඛ ආවරණය මේවන විට තමන්ගේ මතයට අනුව ක්‍රියාත්මක වන බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් මුඛ ආවරණ පැලදිය යුතු යැයි ජනතාවට නිර්දේශ කර නොමැති බවත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය පැවසුවාය.

එසේ දැන්වුවහොත් පමණක් මුඛ ආවරණ පැලඳිය යුතු බවත් නමුත් අනාරක්ෂිත පසුබිමක සිටීනම් මුඛ ආවරණ පැලඳිම සිදුකළ හැකි බවත් සඳහන් කරන සොයිසා මහත්මිය මුඛ ආවරණ දැමීමට වඩා නොදැමීම සුදුසුවන්නේ ඇතැම් අය මුඛ ආවරණ පැලදීමෙන් පසු පහලට හෝ ගෙල ප්‍රදේශයට වැටෙන ලෙස එල්ලෙමින් තිබෙන නිසා බව කියා සිටියාය.

එනිසා අනවශ්‍ය බිෂබීජ ගහණයක් ඔබේ මුවට නාසට ලංකර ගැනීම සිදු කරගන්නා බවත් එනිසා සරල සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යා යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ජනතාවටද විශාල වගකීමක් පැවරෙන අතර, රෝගය වැළඳීමේ අවදානම අවම කරගැනීමට ජනතාව අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. ජනතාවට කිව යුතු වන්නේ තමාගේ ආරක්ෂාව තමා සතු වීමත් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මේවන විට රටේ සෞඛ්‍ය ආරක්ෂාවට බලපාන බැවින් තමන්ට හැකි පරිදි නිවසින් බැහැරට යන අවස්ථාවක මුඛ ආවරණ පැලදීමට හැකිනම් එය කාගේත් සෞඛ්‍යයට හිතකර බවය.

 

 

චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 78 දෙනෙකු වාර්තා වීමත් සමඟ එරට දෙවන කොවිඞ් නයින්ටීන් රැල්ලක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.

කෙසේ නමුත්, එයින් 74 දෙනෙකුම පිටතින් වෛරසය ආසාදනය වී පැමිණි අයයි. එමෙන්ම, සතියකට පමණ පසු වූහාන් නගරයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම විශේෂත්වයක්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙනි. චීනයේ මිය ගිය සංඛ්‍යාව 3277ක් ලෙස සටහන් වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 81,000කට අධිකය.

කෙසේ නමුත්, පසුගිය සති කිහිපය තුළ චීනයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබිණි. ඉන් අනතුරුව මෙලෙස විදේශයන් හි සිට පැමිණෙන චීන ජාතිකයන්ගෙන් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ලොව පුරා ජීවිත 16, 572ක් උදුරාගත් කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා මිලියන ගණනක කම්කරුවන්ට රැකියා අහිමි කර ඇත්තේ දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් නිර්මාණය කරමිනි.

මහජන සෞඛ්‍යයට ඇති තර්ජනයට අමතරව, ආර්ථික හා සමාජීය තත්ත්වයන් අඩපණ වීම තුළ මිලියන ගණනකගේ පැවැත්ම "කොරෝනා" විසින් උදුරා ගනිමින් සිටියි.

මෙම අර්බුදයට පිළියම් යොදන්නේ නැතිනම්, කොරෝනා ලොව පුරා මිලියන 25කගේ රැකියා අවස්ථා අහිමි කරනු ඇති අතර එය විශාල ගෝලීය ආර්ථික අර්බුදයක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

චීනයේ ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් වසා දැමීම සහ ගෝලීය සැපයුම් දාමය කඩාකප්පල් වීමත් සමඟ ආරම්භ වූ ආර්ථික හා සමාජ අර්බුදය දැන් අවන්හල්, සිල්ලර වෙළෙන්දන්, ගුවන් සමාගම්, රජයේ පාසල් සහ කර්මාන්තශාලා මෙහෙයුම් වසා දැමීම නිසා ලොව පුරා මෙම අර්බුදය පැතිර යමින් තිබේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ප්‍රකාශ කර ඇත්තේ, වෛරසයේ බලපෑම, මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලු කර හරින බවයි.

ජනතාව සහ භාණ්ඩ ගමන් කිරීම සීමා වන වටපිටාවක එසේ සිදුවීමේ ඉඩ කඩ වැඩි බවත් දැනටමත් ලොව පුරා නිෂ්පාදන සමාගම් වලින්, හෝටල්, ගුවන් සහ සේවා සමාගම් වලින් සේවකයින් ඉවත් කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එක්සත් ජාතික පෙරමුණු රජයේ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම සමීපතමයෙකු වන සාගල රත්නායක මහතාට මෙවර ජාතික ලයිස්තුව මෙන්ම මාතර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුව ද අහිමි වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට සාගල රත්නායක මහතා අකමැත්තක් දක්වා ඇති අතර ඒ වෙනුවට ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බලාපොරොත්තු වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ සිටින සෙසු අපේක්ෂකයන් එයට දැඩි විරෝධයක් දක්වා ඇති අතර සාගල රත්නායක මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන්නේ නම් තමන් එම ලැයිස්තුවෙන් ඉවත් වන බවට පක්ෂ නායකයින්ට දැනුම්දී තිබේ .

ඉන්පසු අවසාන මොහොතේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ අපේක්ෂකත්වය රත්නායක මහතාට ලබාදීමට උත්සාහ කළද ඒ වන විට එම ලැයිස්තුව වෙනස් කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු "අපේ ජන බලවේගය" පක්ෂයේ  දිස්ත්‍රික් තුනක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

කොළඹ ,කුරුණෑගල කළුතර යන දිස්ත්‍රික්කවල  නාමයෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

අපේ ජන බලබලවේගය පක්ෂය කොඩිය ලකුණු යටතේ මෙවර මහා මැතිවරණයට තරඟ කිරීමට සූදානමින් සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද නාමයෝජනා සඳහා අත්සන් කර තිබුණද එම දිස්ත්‍රික්කයේ නාමයෝජනා ප්‍රතික්ෂ්‍රේප වීම හේතුවෙන් ඥාණසාර හිමිට මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව අහිමිවී තිබේ.

ඊට අමතරව කොළඹ  දිස්ත්‍රික්කයෙන් ජීවන් කුමාරතුංග, ප්‍රසංග සෝලංගාරච්චි, ගාමීණි තිලකසිරි, අක්මීමන දයාරතන හිමියන් සහ තවත් භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුම නාමයෝජනා සඳහා අත්සන් කර තිබිණි.

මේ අනුව එම දිස්ත්‍රික්කවලින් අපේ ජන බලවේග පක්ෂය යටතේ තරඟ කිරීමට බලා බලාපොරොත්තු වු අපේක්ෂකයන්ට මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාව අහිමි වනු ඇත.

කෙසේ වෙතත් අදාළ නාමයෝජනා පත්‍ර නැවත සලකා බලන ලෙස අපේ ජන බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභා වෙත මේ වන වනවිටත් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා වෙනම තරග කිරීම සම්බන්ධව මතුව ඇති ගැටලු දැනුවත් කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ ඊයේ(17) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ රැස්වීමක් අතරතුරය.

එහිදී කුරුණෑගල, අනුරාධපුර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ශ්‍රීලනිපයට ප්‍රමාණවත් අපේක්ෂකත්වයක් නොලැබූ හෙයින් එම දිස්ත්‍රික් සඳහා අපේක්ෂකයින් ගණන වැඩි කරගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට ඉල්ලීම් සිදු කර ඇත. 

නමුත් එහිදී තීරණයකට එළැඹ නොමැති බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසූවේ ශ්‍රීලනිපය තනිව තරඟ නොකරන බවත් පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර ගැටුමක් ඇතිව නොමැති බවත්ය.

ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු හැටන් ඩන්බාර් ප්‍රදේශයේ නිවසක රැදි සිටින බවට හැටන් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එම පුද්ගලයාව (16) දින සොය ගනු ලැබිණ.

වසර 12 ක් ඉතාලියේ රැකියා සිදු කර ඉකුත් 3 දින ඔහු පදිංචි හැටන් ඩන්බාර් ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර , එදා සිට අද දක්වා ඔහු හැටන් ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවටත් , ඔහු කිසිදු නිරෝධාන කටයුත්තකට ඉදිරිපත් වි නොමැති බවත් , පොලිසියට තොරතුරු ලැබි තිබුණි.

හැටන් පොලිසියේ නිලධාරින් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් මුඛ ආවරණ පැලද ඔහු පදිංචි නිවසට ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුට කිසිදු රෝගි ලක්ෂණ නොතිබුණු නිසා තවදුරටත් නිවසේ සිටම ස්වයං නිරෝධානයක නියැලෙන ලෙසට හැටන් පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ඔහුට උපදෙස් ලබාදෙනු ලැබිණ.

ඉතාලියේ සිට පැමිණි පුද්ගලයා හැටන් ප්‍රදේශයේ පදංචි  නිවස පිහිටා ඇත්තේ ඉතා ජනාකිර්ණ ප්‍රදේශයකය.

විදේශගතව රටවල් කිහිපයක සිට මෙරටට පැමිණ කිසිදු නිරෝධාන කටයුත්තකට සහභාගි නොවු කිහිප දෙනෙකු හැටන් ප්‍රදේශයේ සැගවි සිටින බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවයි හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේය.

සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"කොරෝනා උවදුර තුළ තමයි මේ සැඟවුණු ඩීල් කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. සමගි ජන බලවේගය කුමන්ත්‍රණකාරීව දේශපාලනයෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණයක්. අපි මේ සන්ධානය ගොඩනැගුවේ අනුමැතියක් ඇතුව. අද වන විට අපේ දේශපාලන බලවේගය මැඩ පවත්වන්න මහා දැවැන්ත කුමන්ත්‍රණයක් පාර්ශ්ව ගණනාවක් එකතුවෙලා, අපිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් ඉවත් කරන්න උත්සහ කරනවා."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් මෙන්ම පානදුර ආසන සංවිධායක ධූරයෙන් මහින්ද සමරසිංහ මහතා ඉවත් කොට තිබේ. ඒ වෙනුවට පත් කරන අය පිළිබඳව තීරණයක් අද (12) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී ගැනීමට නියමිත බවද වාර්තා වේ.

මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගෙන පොදුජන පෙරමුණට එකතු වීමට සැලසුම් කර තිබීම අනාවරණය වීම ඊට හේතු වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීම සඳහා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙන මහින්ද සමරසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂවරුන්ට සහයෝගය දීමට ඉදිරිපත් විය.

යහපාලන රජයේ අමාත්‍යධුර දරද්දී යුද්ධය කළේ මහින්ද රාජපක්ෂ මහතා නොව යුද හමුදාව බවත් ප්‍රකාශ කළ මහින්ද සමරසිංහ මහතා හම්බන්තොට වරාය චීනයට විකිණීම සඳහා වරාය කටයුතු අමාත්‍යවරයා ලෙස සෘජු දායකත්වයක් දැක් වූ බව ප්‍රකට කරුණකි.


එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් ඊයේ (09) දින පෙරවරුවේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන් ඒ මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි.

පසුගිය 8වනදා පැවති සාකච්ඡාවට දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වුහ.

සමතයකට මැදහත් වන්නැයි දෙපාර්ශවය විසින්ම හිටපු කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාව පවත්වා ඇත.

 මේ දක්වා අවසන් තීරණයකට ඒළඹ නොමැති නමුත් දෙපිරිසටම අවංක වුවමනාවක් පවතින්නේ නම්  සමතයකට පැමිණිම සඳහා තව දුරටත් මැදහත්ව කටයුතු කිරිමට තමා පසුබට නොවන බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා මෙහිදි පවසා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී ඇති අර්බුදය පිළිබඳව අද (10)  දිනයේදීත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.