May 19, 2024

දුෂ්කරාතා මැද එයාර් ඒෂියා සෙවුම් කටයුතු තවදුරටත්

විපතට පත්වූ එයාර් ඒෂියා ගුවන්යානයේ දැනට හමුව තිබෙන සුන්බුන් අතර වූ මළසිරුරු වලින් පළමුවැන්න පසුගියදා ඥාතීන්ට භාරදීම සිදුවිය.මුස්ලිම් ජාතික තරුණියකට අයත් එම මළසිරුර ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලේදීම ඉස්ලාම් ආගමානුකූලව කෙරුණු කෙටි ආශිර්වාදකිරීමකින් පසුව ඉක්මනින්ම මිහිදන් කෙරුණි.
 
තවත් මළසිරුරු 8 ක් හමුව තිබෙන අතර ඒවා ඩී.එන්.ඒ පරීක්ෂාවන්ගෙන් ගුවන්යානයේ ගමන්කළ මගීන්ගේම යැයි අනන්‍යතාව තහවුරු කරගත් පසු ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව ඉන්දුනීසියා ගුවන් බලධරයින් කියයි.යානයේ ගමන් කළ ඉතිරි 153 දෙනාගේ සිරුරු මේ වන විටත් හමුව නොමැත.
 
මේ දිනවල යානයේ සුන්බුන් හමුවූ බෝර්නියෝ දූපත ආසන්නයේ මුහුදු කලාපය අතිශයින් රළු ස්වභාවයක් ගන්නා හෙයින් සෙවුම් කටයුතු සිදුකිරීම අතිශයින් දුෂ්කර වී තිබේ. ගුවන්යානයට අයත් යැයි සැකකෙරෙන සැකිලි කොටසක් මුහුදු පතුලේ ඊයක් මෙන් ඇනී තිබෙන බව පැවසෙන අතර එහි ඉතිරි මළසිරුරු තිබෙන බවට විශ්වාස කෙරේ.
බලධාරීන් පවසන්නේ මේ කාලගුණය දිගටම මෙලෙසම පැවතියහොත් සුන්බුන් තවත් විසිරීම වැළැක්විය නොහැකි බවයි.යානයට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කරගැනීමට එහි කළු පෙට්ටිය සොයාගත යුතුව ඇතත් ඒ සඳහා තවත් සති දෙකක්වත් ගතවනු ඇතැයි ඔවුන් කියයි.
Rate this item
(0 votes)