May 03, 2024

බටහිරට මුහුණ දෙන්න පුටින් හා ජිංපිං සෙට් වෙයි

February 05, 2022

අසල්වැසි යුක්රේනිව ආක්‍රමණය කිරීමට සිය හමුදා සූදානම් කොට ඇති රුසියානු ජනාධිපති වැල්ඩිමිර් පුටින් තවත් වැදගත් කටයුත්තක නියැළුණා.

ඒ චීන ජනපති ෂී ජිංපිං හමුවෙමින්.

අවධානයට ලත් පොදු කාරණා

දෙරට රාජ්‍ය නායකයන් අතර හමුව සිදුවූයේ ඊයේ (4) චීනයේ බීජිං නගරයේදී.

රුසියානු ජනාධිපති පුටින් මේ වන විට චීනයේ සංචාරයක නියැලී සිටින්නේ සීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ ආරම්භයටත් සහභාගි වීමේ බලාපොරොත්තුවෙන්.

දෙරට රාජ්‍ය නායකයන්ගේ හමුවේදී දෙපාර්ශවයම අවධානය යොමු කළ පොදු කාරණයක් තිබුණා.

බටහිරට මුහුණ දීම

ඒ රුසියාවට හා චීනයට, ඇමරිකාව ප්‍රමුඛ බටහිරින් එල්ලවන දැඩි විවේචන හා බලපෑම් වලට මුහුණ දෙන ආකාරය පිළිබඳවයි.

ඒ සඳහා රාජ්‍ය නායකයින් දෙපළම සිය සබඳතා වඩාත් ශක්තිමත් කරගත යුතු බවට මෙම හමුවේදී පොදු එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය නායකයින් දෙපළ අතර සාකච්ඡාව ආරම්භ වීමට පෙර රුසියානු නායකයා මාධ්‍ය අමතා සඳහන් කළේ මොස්කව් (රුසියාවේ අගනුවර) හා බීජිං (චීනයේ අගනුවර) අතර මිත්‍රත්ව හා උපක්‍රමශීලී සම්බදතා වල විශාල දියුණුවක් තිබෙන බවයි.

එහිදී රුසියානු ජනපතිවරයා දෙරට අතර තිබෙන සබඳතා හැඳින්වූයේ "ගරුත්වයේ සබඳතාවයක්" ලෙසටයි.

දෙරට අතර එකගතා

රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සිට චීනයට කියුබික් මීටර බිලියන 10 ක ස්වභාවික ගෑස් සැපයීම සම්බන්ධයෙන් නව කොන්ත්‍රාත්තුවකට දෙරට සූදානම් වන බවත් ඔහු එහිදී එළිදරව් කළා.

ඒ හැරුණුකොට රුසියානු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආරක්ෂාව හා අනිකුත් කාරණා සම්බන්ධයෙන් දෙරට අතර නායකයින් "පොදු එකඟතාවයක්" ඇති ලියවිල්ලකටද අත්සන් තැබීමට නියමිත බවයි.

ඊයේ (4) දෙරටේ නායකයින් අතර පැවති සාකච්ඡාවෙන් පසු රුසියානු ජනපතිවරයා ශීත සෘතු ඔලිම්පික් උළෙලේ ආරම්භක අවස්ථාවටද සහභාගි වුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 February 2022 01:26