May 14, 2024

මංගල ඇඳුමට කෝටි හතයි

බාර්ක්ලේස් සමාගමෙන් පලවා හරිනු ලැබූ එහි ප්‍රධානී බොබ් ඩයමන්ඩ් ගේ දියණිය 25 හැවිරිදි නෙල් ඩයමන්ඩ් පසුගියදා දකුණු ප්‍රංශයේ දී විවාහ වූවාය. ඒ ඇගේ පෙම්වතා වූ ටෙඩී වසර්මන් සමඟිනි. බොබ් 2012 ජූලියේ දී බාර්ක්ලේස් සමාගමෙන් ඉල්ලා අස්වූයේ අපකීර්තිය ද තුරුලු කරගෙනය. මූල්‍ය වංචා චෝදනා ඔහුට එල්ල වී තිබූ අතර උසාවිය ඔහුට ඩොලර් ලක්ෂ 4530ක දඩ මුදලක් නියම කළේ ව්‍යාජ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ වරදටය.
 
නෙල් ඩයමන්ඩ්ගේ විවාහ මංගල්‍යය ගැන මාධ්‍ය උනන්දුව දැක්වූයේ ඊට වැය කර තිබූ අධික මුදල නිසා ය. මෙහිදී ඇය මංගල ඇඳුම් දෙකකින් සැරසී ඇත. එම එක් ගවොමක වටිනාකම ඩොලර් 250,000ක් වූ අතර (රුපියල් කෝටි තුනක් පමණ) අනෙක් ගවොමේ වටිනාකම ඩොලර් 300,000ක් (රුපියල් කෝටි හතරකට ආසන්නය) විය.
 
මංගල අවස්ථාව සඳහා නෙල් සැරසුණ සුදු පැහැ ගවොම සඳහා ඉස්තරම්ම සේද රෙදි මීටර 35ක් යොදාගෙන ඇත. එම ගවොමේ පසුපස අඩි 15ක් දිගුවී ඇති අතර එම කොටස ඔසොවාගෙන යාමට කිහිපදෙනකුම අවශ්‍ය වී ඇත.63 හැවිරිදි බොබ් ඩයමන්ඩ් බාර්ක්ලේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කලක් කටයුතු කළේය. සමාගමේ එම ධූරයෙන් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්වන ලෙස ඔහුට බලකෙරිණි. පළමුව එය ප්‍රතික්ෂේප කළත් පසුව 2012 ජූලි 3 දා ඔහු තනතුරෙන් ඉල්ලා අස්වූ‍ෙය්ය.
 
ඔහුගේ දියණිය නෙල්ගේ විවාහ මංගල්‍යයේ දී ඇගේ පිරිවර ලෙස දෙවැනි මනාලියෝ අට දෙනෙක් සහභාගී වූහ. ඇය ඇඳ සිටි සුදු පැහැ මංගල වොමේ අඩි 15ක් දිග පසුපස කොටස ඔසොවාගෙන ගියේ ඔවුන්ය.
 
මෙම විවාහ මංගල්‍යය සඳහා වූ කේක් ගෙඩියේ වටිනාකම ඩොලර් 4,212කි. ෂැම්පේන්වලට වැයවී ඇති මුදල ඩොලර් 934ක් වන අතර සැරසිලි සඳහා ඩොලර් 5000ක් වැය කර තිබේ. එමෙන්ම එම විවාහ මංගල්‍යෝත්සවයේදී ඩොලර් 20,000ක් වටිනා ගිනිකෙළි පුළුස්සා ඇත.
 
සම්පූර්ණ විවාහ මංගල්‍යය සඳහා බොබ් ඩයමන්ඩ් වැය කර ඇති මුදල ඩොලර් එක්කෝටි එක්ලක්ෂ තිස්හයදහස් තුන්සිය හතළිස් තුනකි (1,116,343). එම මුදල ශ්‍රී ලංකාවේ රුපියල්වලට පෙරළන්නට නම් ඔබ එම සංඛ්‍යාව 129කින් පමණ ගුණ කළ යුතුය.
රුපියල් කෝටි ගණන් වටිනා මංගල ගවොම් නෙල්ට අන්දවන්නට ද ඇඳුම මැසූ සමාගමේම සේවකයන් කිහිප දෙනකුම එක්වී ඇත. මංගල ඇඳුම නිර්මාණය කර ඇත්තේ නේපාල - ඇමෙරිකානු මිශ්‍ර ජාතික මෝස්තර කරුවෙකි. රෝස හා ක්‍රීම් පැහැය මිශ්‍ර දෙවන මනාලියන්ගේ ඇඳුම් ද නිර්මාණය කර ඇත්තේ ඔහුය.
 
බොහෝ මාධ්‍ය සඳහන් කරන්නේ ප්‍රංශයේ අන්ටිබෙස්හී ඩියු කැප් - ඒඩ්න් - රොක් සුඛෝපභෝගී හෝටලයේ පැවැති මෙම විවාහ මංගල්‍යය දෙවැනි වූයේ එංගලන්තයේ කිරුළ හිමි කුමරු විලියම්ගේත් කේට්ගේත් විවාහ මංගල්‍යයට පමණක්ය කියායි.
 
මංගල ඇඳුම නිර්මාණය කළ ඔලිවර් තෙයිස්කෙන්ස් නෙල් ගේ මිතුරකු වූ අතර ඔහු ගවොම් නිර්මාණ සඳහා ගාස්තු අය කර නැත. 
ගවොම්වල වටිනාකම ඩොලර් 250,000ක් හා 300,000ක් වී ඇත්තේ රෙදිපිළිවලට හා මැහුම් කුලිය සඳහා පමණකි. යම් ආකාරයකින් ඔලිවර් නිර්මාණය සඳහා තම ගාස්තු ද අය කළේ නම් එම මංගල ගවොම්වල වටිනාකම් තවත් ඉහළ යනු නිසැකය. බොබ් ‍ඩයමන්ඩ් තමදියණියගේ විවාමංගල්‍යය සඳහා ඩියු කැප් - ඒඩ්න් - රොක් හෝටලයට ගෙවා ඇති මුදල ඩොලර් 351,000ක් වෙයි. එය කාමර 117කින් යුත් දැවැන්ත හෝටලයකි.
 
මෙම විවාහ මංගල්‍යයේ සියලු කටයුතු සැලසුම් කළ හා සම්බන්ධීකරණය කළ සමාගම ඒ කටයුතු සඳහා අය කර ඇති මුදල ඩොලර් 
186,057කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකෝටියකට අධික මුදලකි.
Rate this item
(0 votes)