May 08, 2024

කාබුල් ගුවන්තොටුපොළ අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළට පිවිසෙන ගේට්ටුවක් ආසන්නයේ පිපිරීමක් සිදුවුණු බව විදෙස් මාධ්‍ය අද (26) සවස වාර්තා කළා.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි එම මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ඔවුන්ට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් මුදාගනිමින් සිටින මොහොතක මෙම ප්‍රහාරය එල්ල විය.

මෙලෙස ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු ඇතුළු බටහිර රටවල් කිහිපයක බුද්ධි අංශ බදාදා දිනයේ දී අනතුරු අඟවා තිබුණා.

ඒ අනුව ගුවන් තොටුපොළට පැමිණීමෙන් හෝ ගුවන් තොටුපොළ ආසන්නයේ සිටීමෙන් වළකින්නැයි එම රටවල් සිය වැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට අනතුරු අඟවා තිබුණා.

බොහෝ දුරට අයි.එස්. සංවිධානය මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි එම බුද්ධි අංශ වාර්තා කළ අතර පසුගිය සතියේ දී එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ කවුරුන් හෝ මියගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

Rate this item
(0 votes)