May 06, 2024

“අල්ලා” අයිති මුස්ලිම් බැතිමතුන්ට ද? සහ ක්‍රිස්තියානි බැතිමතුන්ට ද?

දෙවියන් හැඳින්වීම සඳහා “අල්ලා” නමැති වචනය භාවිතා කිරීම පිළිබඳව කලෙක පටන් මැලේසියාවේ මුස්ලිම් බැතිමතුන් සහ ක්‍රිස්තියානි බැතිමතුන් අතර මත ගැටුමක් පවතී. බී බී සී යේ ජෙනිෆර් පැක් මේ පිළිබඳව කල විමසුමක් සංදේශයට සකස් කළේ එස් එල් සෙනෙහෙධීර.
“අල්ලා” නමැති වචනය භාවිතා කිරීමට අයිතිය ඇත්තේ කා හට ද යන මත භේදය උඩ විවිධ ජාතීන් ගෙන් සහ විවිධ ආගම් වලින් සමන්විත මැලේසියානු සමාජයේ සමගිය බිඳී යාමේ තර්ජනයකට ලක් වී තිබේ.
මේ මත ගැටුම පාදක කොට ගෙන විරෝධතා සහ උද්ඝෝෂණය කිරීම් කලක පටන් සිදු වෙමින් පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මැලේසියාව පුරා ඇති “අල්ලා” නමැති වචනය අඩංගු ක්‍රිස්තියානි හඬ පට සහ තැටි සියල්ල වසර හයකට පෙර ඒවා ආනයනය කිරීමට කටයුතු කළ කාන්තාව වෙත ම ආපසු යැවිය යුතු බවට මැලේසියාවේ අධිකරණයක් නියෝග කළේය.
කිතුනුවන්ට වැරදිලාද?
ක්වලාලම්පුර් වල ඇති ශබ්දාගාරයක පටිගත කිරීමක යෙදී සිටියදී හමුවූ එක්තරා සංගීත කණ්ඩායමකට අයත් සාමාජිකයන් දිදුලන නවීන විදුලි ගිටාරයන් වයමින් ගයමින් සිටියේ අල්ලා දෙවියන් ගේ ඉගැන්වීම් පිළිබඳවයි.
ඒ අතරින් කෙනෙකු වූ නස්රී අලියාස් පැවසුවේ “අල්ලා” නමැති වචනයේ අයිතිය ඉස්ලාම් භක්තිකයන් සතු විය යුතු බවයි.
“මැලේ භාෂාවේ අල්ලා කියන වචනය යොදන්නෙ ඉස්ලාම් දෙවියන් හඳුන්වන්න. එම වචනයෙන් වෙනත් ආගම් වල දෙවියන් නියෝජනය වෙන්නෙ නැහැ” යනුවෙනුයි ඔහු පැවසුවේ.
කෙසේ වුවද, ඉන්දුනීසියාවේ සහ මැද පෙරදිග ජීවත්වන ක්‍රිස්තියානි භක්තිකයින් ද දෙවියන් හඳුන්වන්නෙ “අල්ලා” යන නමිනි.
නමුත් ඇතැම් ඉස්ලාම් භක්තිකයන් සිතන්නේ එය වැරදීමකින් සිදු කරන දෙයක් බවයි.
ඔවුන් පවසන්නේ මොහම්මද් තුමා විසින් අල්ලා නමැති වචනය ශුද්ධ වූ වචනයක් බවට පත් කර ඇති බැවින් ක්‍රිස්තු භක්තිකයන් එම වචනය භාවිතා කිරීම නැවත විය යුතු බවයි.
“අල්ලා කියන වචනය භාවිතා කරන්න නො දෙන එක ඔවුන්ට කරන වැරැද්දක් නොවෙයි. ඒක බොහෝ විට ඔවුන් යොදා ගැනීමේ පහසුව පිණිස කරන දෙයක්. එත් ඔවුන් එම වචනය යොදා ගැනීම අපිට කරන වැරැද්දක්.” යනුවෙන් පවසන්නේ යුස්රි මුහමඩ් නමැති ඉස්ලාම් භක්තිකයෙක්.
'අපේ බයිබලයත් වෙනස් කරන්න වෙයි'
කෙසේ නමුත් “අල්ලා” නමැති වචනය ඉස්ලාම් දෙවියන්ට පමණක් යොදාගැනීමේ තීරණය ක්‍රිස්තු භක්තිකයන්ට ප්‍රශ්ණ ගණනාවක් මතු කෙරෙන කාරණයක්.
මේ තීරණයට අනුව ක්‍රිස්තියානි භක්තිකයන් හට ඔවුන්ගේ බයිබල් ග්‍රන්ථ වෙනස් කරන්න සිදු වෙනවා පමණක් නොව ඔවුන්ගේ පාරම්පරිකව පැවත එන යාදිනි, දේව ස්තෝත්‍ර හා භක්ති ගීත ආදී සියල්ල වෙනස් කරන්නට සිදුවේ.
උදාහරණයක් ලෙස සාබා ජනපදයේ ඉරිදා දේව මෙහෙයේදී ගයන ක්‍රිස්තු භක්තිකයන් සියල්ලන්ගේම පොදු භාෂාව මැලේ වන අතර “අල්ලා” යන අරාබි වචනය එම ගායනාවන් හි දී යොදා ගැනේ.
එම පිරිස අතර සිටින තරුණ වෘත්තිකයින්, ළමයින් ඇතුළු තුන්සියයක් පමණ පවුල් වල සාමාජිකයන් විවිධ ගෝත්‍රික ජන කණ්ඩායම් වලින් සමන්විත වන අතර චීන ජාතිකයින්ගෙන් පැවත එන්නන් සහ ඉන්දියානුවන් සුළු පිරිසකගෙන් ද සමන්විතවෙයි.
හීබෘ භාෂාවේ වචනයක්
මැලේසියාවේ ඉවන්ජෙලිකල් පල්ලියේ පුජක තුමා පවසන්නේ අල්ලා නමැති වචනය දෙවියන් හැඳින්වීම සඳහා යොදා ගැනුණේ අතීතයේ පටන් බවයි.
“අල්ලා කියන වචනය පරිවර්තනය කර ගෙන තියෙන්නෙ හීබෘ කියන අරාබියානු භාෂාවෙන්. ඒක මුල් කාලෙ ඉඳලම මැලේසියානු භාෂාවේ ඒ කියන්නෙ මැලේ භාෂාවේ භාවිතා කරලා තියනව දෙවියන් හඳුන්වන්න. ශතවර්ෂ ගණනාවක් ම දෙවියෝ කියන වචනය පරිවර්තනය කරල තියෙන්නෙ “අල්ලා” නමින්.”
එහෙත් මැලේසියානු රජය පවසන්නේ මෙම කාරණය මුස්ලිම් භක්තිකයන් අවුල් සහගත තත්වයකට පත් කරන බවයි.
නමුත් ක්‍රිස්තියානි සහ කතෝලික පල්ලි තුළ ආගම ඇදහීමෙ දී පවසන දේ පිළිබඳ ව ඔත්තු බැලීම කළ හැකි දෙයක් නොවේ.
"අල්ලා" වචනය කිතුනුවන්ට තහනම්
ඒ හේතුවෙනුයි අල්ලා නමැති වචනය මුද්‍රණය කිරීම ක්‍රිස්තු භක්තිකයන් හට තහනම් කොට ඇත්තේ.
ඔවුන් ඒ නීතිය කඩ කළ හොත් එය මැලේසියාවේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බවයි රජය පවසන්නේ.
ක්‍රිස්තු භක්තිකයන් විසින් අල්ලා නමැති වචනය දෙවියන් සඳහා යොදා ගැනීම ගැන මෙතරම් විරුද්ධ වීමට මුස්ලිම් ජනතාවට තවත් හේතුවක් තිබේ.
මුස්ලිම් පිරිස් පවසන්නේ මේ අල්ලා නමැති වචනය මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි බවට හැරවීම සඳහා ක්‍රිස්තු භක්තිකයන් විසින් යොදා ගන්නා බවයි.
සාබා ජනපදයේ මුස්ලිම් පල්ලියේ යඥ කරන මුටාසා අමුඩාඩ් අවධාරණය කළේ එසේ කිතුනු ආගමට හරවා ගැනීමක් සිදු වෙන බවයි.
“මැලේසියාවේ ඉන්න සමහර අය මේ වචනය වැරදි විදියට යොදා ගන්නව, ඇතැම් මුස්ලිම් භක්තිකයන්ව ක්‍රිස්තියානි පල්ලි වලට ගෙන්වා ගන්න. මට එහෙම අය කිහිප දෙනෙක් හමු වෙල තියනව” යනුවෙන් ඔහු පැවසීය.
ආගම බලෙන් වෙනස්කරවීම නීති විරෝධීයි
එලෙස ආගම වෙනස් කර වීම මැලේසියාවේ නීතියට අනුව තහනම් දෙයක්.
එබැවින් කවුරුන් හෝ මුස්ලිම් අයෙක් ක්‍රිස්තියානි බවට පත් වන්නේ නම් එසේ කරන්නේ රහසිගතව බවටයි මුස්ලිම් ජනතාව අදහස් කරන්නේ.
එසේ වුවද දේවගැතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
ඔහු පවසන්නේකවුරුන් හෝ එසේ ක්‍රිස්තියානි බවට පත්වන්නේ නම් එසේ කරන්නේ ඔවුන්ගේ නිදහස් කැමැත්තට අනුව බවයි.
මැලේසියාවේ මුස්ලිම් ජාතිකයින් 64% ක් සිටිති.
එබැවින් 9.3% ක් පමණක් සිටින ක්‍රිස්තියානි භක්තිකයන් ගැන ඔවුන් බියක් දක්වනවා නම් එය තේරුමක් නැති දෙයක් බවයි දේවගැතිවරයා ගේ අදහස වන්නේ.
Rate this item
(0 votes)