April 26, 2024

දිගින් දිගටම ඇදෙන ඕස්ට්‍රේලියාවේ ඔටුවන්ගේ ගැටලුව

මේ දිනවල විදෙස් මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් තුළ ද දැඩි කතාබහකට ලක් වුණු සිදුවීමක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා. එ් ඔටුවන් 10,000ක් ඝාතනය කිරීම සම්බන්ධවයි. එයට හේතුව ලෙස සඳහන්ව තිබුණේ මෙම ඔටුවන් අධික ලෙස ජලය පානය කිරීම බවද මෙම කතාබහ තුළ සඳහන්ව තිබුණා. නමුත් මෙම ඔටුවන් මරා දැමීම ජලය පානය කිරීම නිසා පමණක් නොව කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් හා ඕස්ට්‍රේලියානු වැසියන් මුහුණ පා සිටින දැඩි ගැටලුවකට පිළිතුරු ලබා දීමක් ලෙසටයි ඕස්ට්‍රේලියාව දෙසින් වාර්තා වෙන්නේ.

ඒෂියන් මිරර් අප මෙම ගැටලුව පිළිබඳ කළ විමසා බැලීමක් මේ,

• ඔටුවන් යනු ඕස්ට්‍රේලියාවට ආවේනික හෝ ඉතිහාසයේ සිට පැවැතගෙන ආ සත්ත්වයෙක් නොවේ.

ඔටුවා යනු ඕස්ට්‍රේලියාවට ආවේනික හෝ ඕස්ට්‍රේලියාව තුළ බිහි වුණු සතෙක් නොවන බවට Wikipedia වෙබ් අඩවිය තුළ සඳහන් කරුණු ආනාවරණය කරනු ලබනවා. ඔටුවන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ දේශ ගවේෂණයේ එක් පියවරක්⁣ ලෙසයි.

මුලින්ම ඕස්ට්‍රේලියාවට ඔටුවෙකු ගෙන යන්නේ වර්ෂ 1822 දීය. ඒ භූගෝලීය කටයුතු පිළිබඳ අධ්‍යයනකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වු Conrad Malte-Brun විසිනි. ඔහු ඔටුවන් භාවිත කිරීමට හේතු වුණේ දින ගණනක් වුවත් වෙහෙසකින් තොරව ඔටුවාට ගමන් කිරීමට හැකි වීමත්, කාන්තාර වැනි දුෂ්කර ස්ථානවලද ඔටුවාට ගමන් කිරීමට හැකියාවක් ඇති නිසාය.

ඉන්පසුව වර්ෂ 1840 සැප්තැම්බර් 12 වැනිදා නැවතත් ඕස්ට්‍රේලියාව වෙතට ඔටුවන් ගෙන එනු ලබනවා. ඉන් පසුව නැවතත් වර්ෂ 1860 දී වික්ටෝරියා පාලන කාලය තුළත් ඔටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත ගෙන එනු ලබනවා. මෙම ඔටුවන්ගේ ප්‍රධානම කාර්ය වුණේ ඕස්ට්‍රේලියාව වර්ග සැතපුම් 529,000 දක්වා දිවෙන කාන්තාරය හරහා ගමන් කිරීමට සහ ඕස්ට්‍රේලියාවේ භූ විෂමතා හා නව වගා භූමි සොයාගෙන යාමට ප්‍රවාහන මාධ්‍යයක් ලෙසටයි.
මෙම ඔටුවන් බොහෝ ප්‍රමාණයක් රැගෙන ආවේ ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය යන රටවලිනි.



• ඕස්ට්‍රේලියානු ඔටුවන්ගේ ව්‍යාප්තිය

20 වන සියවසේ ආරම්භයත් සමඟ නව ප්‍රවාහන මාධ්‍යයන් නිර්මාණය වීම නිසා ඔටුවන්ගේ භාවිතය පහත වැටුණි. මෙම නිසා ඔටුවන් බලාගත් බොහෝ පිරිසක් ඔවුන් සතු ඔටුවන් නිදහස්⁣ කොට වනාන්තරවලට මුදා හරින ලබනවා. මෙම නිදහස්ව ගිය ඔටුවන් වසර 100කට ආසන්න කාලයක් තිස්සේ වර්ධනය⁣ වෙමින් අද වෙනතුරු පැවතීගෙන ආවා.
Feral Scan වෙබ් අඩවියට අනුව ඕස්ට්‍රේලියාවේ මේ වන විට ඔටුවන් මිලියන 1ත් 1.2ත් අතර ප්‍රමාණයක් සිටින බවට සඳහන් වෙනවා. ඔවුන් වර්ග කිලෝ මීටර් මිලියන 3.3ක ප්‍රමාණය අතර ව්‍යාප්තව ඇති බව සඳහන් වෙනවා.

ඔටුවන් සංචාරක කටයුතු හා ප්‍රවාහන සඳහා මෑත කාලයක් වෙනතුරු භාවිත කළත් මෝටර් වාහන බිහි වීමත් ඒවා දියුණු වීමත් නිසා ඔටුවන් ව ⁣ඉවත් කිරීමට තීරණය කරනු ලබනවා.



• Feral Camels හෙවත් ප්‍රචණ්ඩකාරී ඔටුවන්

ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි සහ මාධ්‍ය මෙන්ම ඕස්ට්‍රේලියානු රජයේ සමහර වාර්තාවන් අනුව ඔටුවන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන හානිය සහ අලාභය අධික බව සඳහන් වෙනවා. ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් වන ඇබෝජියන්වරුන් මෙම ඔටුවන් නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වෙන්නේ.
ඇබෝජියන්වරුන්ට අයත් පෞරාණික ස්ථානයන් විනාශ වීමත්, ඔවුන්ගේ කෘෂිකාර්මික ස්ථානයන් විනාශයට පත් වීමත් ඔවුන්ගේ වාසස්ථානයන්වලට ආහාර සහ ජලය සොයාගෙන පැමිණෙන ඔටුවන් අතින් දැඩි හානි සිදුවෙන බව සඳහන් වෙනවා.

මීට අමතරව ඕස්ට්‍රේලියාවට පමණක් ආවේනික ශාක විශේෂයන් වන Quandong, Curly Pod Wattle වැනි ඒක දේශික ශාකයන් ද වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබෙන්නේ අධික ලෙස ව්‍යාප්ත වෙන මෙම ඔටුවන්ගේ ආහාර ලෙසට පත්වීම නිසයි.

එමෙන්ම ජලය සොයාගෙන යාමේ දී සාප්පු සංකීර්ණවලට කඩා වැදීම්, නිවැස්වල පිහිටි වායු සමීකරණ යන්ත්‍ර කඩා දැමීම් හා ජලය ඇති ස්ථානයන්වලට පහර දෙන බවට ඕස්ට්‍රේලියානු හා ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා වී ඇති කරුණුවල සඳහන් වෙනවා.

මහා මාර්ග පුරා මෙම ඔටුවන් ගමන් කිරීම නිසා රිය අනතුරු හේතුවෙන් ජීවිත පවා අහිමි වීම් වාර්තා⁣ වෙනවා. මෙම ඔටුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වසරකට ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඇ.ඩො. මිලියන 10ක පමණ අලාභයක් සිදුවෙන බවට ද ගණන් බලා තිබෙනවා.



• ඔටුවන් පාලනය

2009 වසරේ දී ඔටුවන් ගහනය පාලනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 19ක් වැය කරමින් ව්‍යාපෘතියක් දියත් කරනු ලබන අතර එහිදී 2013 පමණ වන විට ඔටුවන් ලක්ෂ 03 දක්වා අඩු කිරීමට උත්සාහයක් දරා තිබෙනවා.

පසුගිය 09 වැනිදා ඔටුවන් නැවත පාලනය කිරීමට වෘත්තිමය වෙඩික්කරුවන් ට අවස්ථාව ලබා දීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කරනු ලබනවා. ඒ දිර්ඝ කාලයක් තිස්සේ ලැබුණු ජනතා ගැටලු සලකා බලමිනි. ⁣මෙම කාලය තුළ ඔටුවන් නිසා නිවාස 2000කට ආසන්න ප්‍රමාණයක් ද විනාශ වී තිබෙන බව BBC මාධ්‍ය වාර්තා කරනවා. මෙම ගැටලුව උග්‍ර තත්ත්වයට පත් වුණේ ඕස්ට්‍රේලියාවේ පැවතුණු වියළි කාලගුණය නිසා ඇතිව තිබූ නියඟ තත්ත්වයයි.

ඕස්ට්‍රේලියාව ⁣තුළ ඔටුවන් මාංශ ලබා ගැනීමටත්, කිරි ලබා ගැනීමටත් යොදා ගත්තද එයින් ඔටුවන් පාලනයක් නොවන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව පසුගිය 09 වැනිදා වෘත්තිමය වෙඩික්කරුවන් හා දඩයක්කරුවන් අතින් ඔටුවන් දස දහසකට (10,000)ක ප්‍රමාණයක් ඝාතනය කිරීම සිදු වුණා. ඔටුවන් අතරට අශ්වයන් ද ඝාතනය කළ බව තවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් බොහෝ සත්ත්ව සංවිධානයන් හා සමාජජාල ක්‍රියාකරුවන් මෙයට දැඩි විරෝධයක් පළ කර තිබුණා, ඔවුන් පෙන්වා දෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ සත්ත්වයන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි. තවත් පිරිසක් මෙය ඕස්ට්‍රේලියාවේ පවතින පීඩාකාරී තත්ත්වය හමුවේ කළ යුතුව තිබූ දෙයක් බවටද සඳහන් කරනු ලබනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවසන අන්දමට ඕස්ට්‍රේලියාව තුළ වැඩිවෙන සත්ත්ව ගහනයන් පාලනය කිරීමට මෙලෙස සතුන් ඝාතනය කිරීම නිතර සිදුවෙන දෙයක් බවයි සඳහන් වෙන්නේ.


මුලාශ්‍ර :

https://www.google.com/amp/s/www.bbc.com/news/amp/newsbeat-51032145

https://en.m.wikipedia.org/wiki/Australian_feral_camel

https://www.feralscan.org.au/camelscan/pagecontent.aspx?page=c

Rate this item
(3 votes)