May 05, 2024

පුලන් දේවියගේ ඝාතකයාට සිරදඩුවම්

පුලන් දේවිය ඝාතනය කළ බවට වරදකරු වූ ශියර් සිං රානා නැමැත්තාට දිල්ලි අධිකරණයකදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

'බැන්ඩිට් ක්වීන්' නමින් ප්‍රකට පුලන් දේවිය 2001 වසරේදී ඇගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ බවට අධිකරණය විසින් ශියර් සිං රානා ඉකුත් සතියේදී වරදකරු බවට තීන්දු කෙරිණ.

ඉන්දියාවේ ඉතා පහළ කුලයකට අයත් කාන්තාවක වන පුලන් දේවියගේ ජීවිත කතාව 1996 දී ‘බැන්ඩිට් ක්වීන්’ නමින් බොලිවුඩ් චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර තිබිණි.

ඉහළ කුලයේ යැයි පැවසෙන පුද්ගලයන් පිරිසක් අතින් සමූහ දූෂණයට ලක් වූ පුලන් දේවිය ඊට විරුද්ධව නැගී සිටි අතර 1981 වසරේදී තමා දුෂණය කළ විසි දෙදෙනෙක් ඇය විසින් ඝාතනය කරනු ලැබූහ.

1983 දී තමන් කළ ඝාතන වෙනුවෙන් පොලිසියට භාර වූ ඇය වසර දහයක සිරදඬුවම් ලබා 1994 දී නිදහස් විය. නිදහස් වී වසර දෙකකින් පසු දේශපාලන දිවියට ඇතුළු වූ ඇය ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස දිවුරුම් දී ඇත.

පුලන් දේවියගේ ඝාතනය සම්බන්ධයෙන් 2001 දී ශියර් සිං රානා සැක පිට අත්අඩංගුවට ගත් අතර 2004 වසරේදී දිල්ලි නුවර අධි ආරක්‍ෂිත බන්ධනාගාරයෙන් පැන ගිය ඔහු 2006 වසරේදී නැවත අත්අඩංගුවට ගන්නා ලදී.

ශියර් සිං රානාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට අමතරව ඉන්දියානු රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(බීබීසි)

Rate this item
(0 votes)