May 01, 2024

පලස්තීන වැසියන්ගේ මරණ ඉහළට 

ඊශ්‍රායල ප්‍රහාරවලින් මරණයට පත් පලස්තීන වැසියන් සංඛ්‍යාව 336 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සටන්කාමීන් හා සිය හමුදා අතර ගැටුමකින් ඊශ්‍රායල සෙබළු දෙදෙනක් ද මරණයට පත් ව තවත් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ ය.

ඊශ්‍රායල සෙබළු ලෙස වෙස්වලාගෙන රහසිගත උමං මාර්ගයකින් ඊශ්‍රායලට ඇතුළු වූ හමාස් සටන්කාමීන් පිරිසක් එම ප්‍රහාරය එල්ල කර ඇති බව ද ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

මේ අතර ඊශ්‍රායලය, පලස්තීනය අතර සටන් විරාම ගිවිසුමකට මැදිහත්වීමට කටාර් රාජ්‍යය සුදානම් වේ.

කටාර් රාජ්‍යය අතරමැදියකු ලෙස කටයතු කරන මෙම අවස්ථාවට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මුන් ද සහභාගී වීමට නියමිත ව තිබේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන් 61,500 ක් සිය කඳවුරුවල රැකවරණය ලබන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

මේ අතර ගාසා තී‍රයේ වාර්තාකරණයේ නියුතු විදෙස් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වග නොකියන බව ඊශ්‍රායල රජය නිවේදනය කර තිබේ.

Rate this item
(0 votes)