May 20, 2024

භාෂාව නිසා මෝදි ප්‍රථම දේශපාලන ගැටළුව ඇතිකර ගනී..

ඉන්දියාවේ වන අගමැතිවරයා වන නරේන්ද්‍ර මෝදි  භාෂා ප්‍රශ්නයක් මුල් කරගනිමින් ප්‍රථම දේශපාලන ගැටලුව ඇති කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඉන්දීය මධ්‍යම රජය හා ප්‍රාන්ත ආණ්ඩු අතර සමාජජාල වෙබ් අඩවි හරහා නිල පණිවුඩ හුමවාරු කරගැනීමේදී හින්ද භාෂාව පමණක් යොදා ගන්නා ලෙසට නරේන්ද්‍ර මෝදි උපදෙස් දීම තුළ මෙම ගැටළුව නිර්මාණය වී ඇත. 

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා මෙන්ම හින්දි කතා නොකරන තවත් ප්‍රාන්ත කිහිපයක් මෝදි සමග මීට උරන වී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා පවසා ඇත්තේ මෙම තීරණය හේතුවෙන් තම ප්‍රාන්තයේ ජනතාව නොසන්සුන් වී ඇති බවයි. එමෙන්ම, තම ජනතාව භාෂා උරුමයන් ගැන ආඩම්බර වන ජාතියක් බවද ජයලලිතා පවසා තිබේ.

ඒ අනුව, මෙම තීරණය ඉවත්කර ගන්නා ලෙස ජයලලිතා ඉන්දීය මධ්‍යම රජයට ලිපියකින් දන්වා ඇති බවද සඳහන්. මීට අමතරව, ජම්බු සහ කාෂ්මීර ප්‍රාන්ත මහ ඇමති ඕමාර් අබ්දුල්ලාද මේ තීරණය විවේචනයට ලක්කර ඇත.

විශේෂයෙන්ම රජයේ නිලධාරීන් ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ ජාල අඩවි භාවිත කරමින් පණිවුඩ හුවමාරු කරගැනීමේදී හින්දි භාෂාව පාවිච්චි කරන ලෙසට ඉන්දීය මධ්‍යම රජය උපදෙස් ලබාදීම තුළ මෙසේ මධ්‍යම රජය හා ප්‍රාන්ත අතර සන්නිවේදනයේදීද හින්දි භාෂාව යොදාගැනීමට සිදුව තිබේ.

කෙසේ වෙතත් මීට පෙර මධ්‍යම රජය හා ප්‍රාන්ත අතර සන්නිවේදනයේදී හින්දි කතා නොකරන ප්‍රාන්තවල නිලධාරීන් ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස යොදාගෙන කටයුතු කර තිබේ. තමිල්නාඩු දේශපාලඥයන් මෙම තීරණයට තදින්ම විරෝධය දක්වන බවත්, 60 දශකයේදී මේ ආකාරයෙන්ම භාෂා ප්‍රශ්නය මුල් කරගනිමින් හින්දි විරෝධී උද්ඝෝෂණ ඇතිවූ බවත් පැවසෙයි.

එමෙන්ම, පසුගියදා සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස භූතානයේ නිල සංචාරයක නිරත වූ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා, එරට පාර්ලිමේන්තුව හින්දි භාෂාවෙන් ඇමතීම ගැන බොහෝ දෙනෙකු විමතිය පළ කර තිබේ. ඊට හේතු වී ඇත්තේ බොහෝ ඉන්දියානු අගමැතිවරුන් විදේශ ගතවූ අවස්ථාවලදී නිතර ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීම හේතුවෙනි. නමුත්, මෝදිගේ මේ තත්ත්වය සුපුරුදු රටාවෙන් වෙනස් තත්ත්වයක් බව කියැවෙයි.

මීට අමතරව, චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීද භාෂා පරිවර්තකයෙකුගේ සහාය ඇතිව නරේන්ද්‍ර මෝදි ඔහු සමග හින්දි භාෂාවෙන් කතා කර තිබේ. මෙය හින්දි කතා කරන හා කතා නොකරන පිරිස් අතර මතභේදයක් ඇති කරන තත්ත්වයක් බවට චෝදනා නැඟෙයි.

 

Rate this item
(0 votes)