January 17, 2025

ඇමතිවරුන් තිදෙනෙකුටත් මුට්ටි පෙරළුණු මුට්ටි කතාවේ ඇත්ත කතාව (VIDEO) Featured

November 02, 2020

කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් තිදෙනෙකු හා කලක් රාජකීය වෛද්‍යවරයා ලෙස හැඳින්වූ එලියන්ත වයිට් මහතා විසින් පැන් කල ගංගා වලට දැමීමේ දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල ඉතා වේගෙන් සංසරණය වෙමින් තිබේ.

විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පිරිත් කල ගංගා වලට මුදා හැරීම යන මාතෘකාව යටතේ එම වීඩියෝ පටය නිර්මාණය වී තිබේ .

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ ගවේෂණයකදී එහි පසුබිම් කතාව සොයා ගැනීමට හැකිවිය .

විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පිරිත් කල ගංගාවලට මුදා හැරීම එලියන්ත වයිට් මහතාගේ අදහසකි .

ඔහු මීට පෙර කොවිඩ් 19 පළමු රැල්ලක් ආ අවස්ථාවේදී ද පිරිත් කළ පැන් කල ගංගා වලට මුදා හැර තිබේ .

මෙවර ද ඔහු විසින් පිරිත් කොට සකස් කරන ලද පැන් කල තුනක් පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙත ගංගාවන් වෙත මුදා හැරීම සඳහා ලබා දී තිබෙන අතර ඒවා ගංගා වලට මුදා හරිද්දී ඒ අවස්ථාව වීඩියෝගත කර එම වීඩියෝ පට තමා වෙත එවන ලෙස ද උපදෙස් දී තිබේ .

එලියන් වයිට් මහතාගේ උපදෙස් මත පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය පැන් කළය කළු ගඟටත්, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සිය පැන් කල 2 දෙක කැළණි ගඟට ස්ථාන දෙකක දී මුදා හැර ඒවා වීඩියෝගත කර ඒලියන්ත වයිට් මහතා වෙත යවා තිබේ .

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියගේ මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටය රූගත කර තිබෙන්නේ ඇයගේ ආරක්ෂක අංශ විසිනි.

එලියන්ත වයිට් මහතා අමාත්‍යවරුන් තිදෙනා විසින් එවන ලද වීඩියෝ පට තුනක් තමන් විසින් පැන් කලයක් මාදු ගඟට දමන වීඩියෝ පටයත් එකට එක්කොට තනි වීඩියෝවක් ලෙස සකසා තිබේ .

ඉන්පසු එලියන්ත වයිට් මහතා යහපත් චේතනාවෙන් යුතුව මෙම කටයුත්ත මාධ්‍ය හරහා ජනතාව වෙත දැනුවත් කිරීම සඳහා එක්තරා මාධ්‍ය ආයතනයකට ලබා දී තිබෙන අතර තාමත් හෙළි නොවූ ආකාරයකට එම වීඩියෝ පටය මව්රට සමාජ මාධ්‍ය ජාලය වෙත ලැබී තිබේ .

ඉන්පසු ඔවුන් එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන අතර මේ වන විට එම සිද්ධිය සමාජයේ ඇගයීමට ලක් වීමට වඩා උපහාසයට ලක් වී තිබේ .

Last modified on Monday, 02 November 2020 11:33
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449