May 06, 2024

කථානායක ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ මන්ත‍්‍රීවරු 221යි - කිසිදු හිමිනමක් මැතිසබේ නෑ

නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 221 දෙනෙක් ඊයේ (20) නව කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

එක්සත් ජාතික පක්‍ෂයේ සහ අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිධුර දෙක සඳහා කිසිවකු නම් නොකිරීම නිසා එම මන්ත‍්‍රී ආසන දෙක ද හිස්ව තිබිණි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජනයක් නොමැතිව ඇරඹුණු පළමු පාර්ලිමේන්තුව ලෙස 9 වැනි පාර්ලිමේන්තුව සුවිශේෂිත වූ අතර ඉන් බෙදී වෙන් වූ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු මන්ත‍්‍රීවරු කථානායක අසුනට සමීපව විපක්‍ෂයේ අසුන් ගෙන තිබිණි.

දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) මන්ත‍්‍රීවරු කථානායක අසුනට ඈතින් විපක්‍ෂයේ අසුන් ගෙන සිටි අතර ආසන ප‍්‍රමාණවත් නොවීමෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ද විපක්‍ෂය පැත්තේ පසුපෙළ හි අසුන් ගෙන තිබිණි.

මෙවර කිසිදු භික්‍ෂුන් වහන්සේ නමක් මන්ත‍්‍රීවරයකු ලෙස පත්ව නොසිටියහ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරු ආණ්ඩු පක්‍ෂයේ ඉදිරියෙන් ම අසුන් ගෙන තිබිණි.

දැනට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින ශිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා බන්ධනාගාර රැකවල් මත බන්ධනාගාර වාහනයකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.

Last modified on Friday, 21 August 2020 10:38